මහනුවර ඇසළ පෙරහැරේ දළදා වහන්සේ වැඩම කරවීමට පින් කළ නැදුන්ගමුවේ රාජා

 

මහනුවර ශ්‍රී දළදා පෙරහැරේ වැඩම කරවන දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කරඩුව අතීතයේ සිටම වැඩම කරවන්නේ ඇතෙකු පිටින් බව ඔබ හොදින් දන්නා කරුණකි. ජීවමාන බුදුරජාණන් වහන්සේ බදු මෙම පූජනීය ධාතුන් වහන්සේ රැගත් කරඩුව වැඩම කරවීමේ භාග්‍ය මෙරට සිටින සියළුම ඇතුන්ට හිමි නොවන දුර්ලභ අවස්ථාවකි. 2005 වසරේ සිට අද දක්වා 12 වන වතාවටත් මේ උතුම් වූ පුණ්‍ය කර්මයට දායක වන්නට භාග්‍ය උදා කරගත් නැදුන්ගමුවේ රාජා නම් වූ ඇත් රජු ගැන මේ ලිපියෙන් ඔබ හට දැන ගත හැකි වනු ඇත.

ගම්පහ නැදුන්ගමුවේ ජීවත් වන මේ ඇත් රාජයගේ සුවිශේෂී සිත් ඇද ගන්නා කරුණ රාශියක් තිබෙනවා. ආසියාවේ සිටින උසම හීලෑ ඇතා වන මෙයා උසින් අඩි 11.5ක් පමණ වෙනවා. මෙයාගේ උස වැඩි කම නිසා දළදා කරඩුව තැන්පත් කරන මංජුසාවේත් යම් යම් වෙනස් කම් කරන්න සිදු වෙලා තියෙනවා.

මේ ඇත් රජුගේ දළ අඩි 4ක් පමණ දිග ඉතාමත් අලංකාර දළ යුගලක්. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මේ ඇතා කිසිම දිනක වාහනයක ගමන් නොකිරීමයි. එයා දළදා පෙරහැරට ගම්පහ සිට එන්නේත් පා ගමනින්මයි. පෙරහැරට සහභාගී වීමට දින 5කට පෙර ගම්පහින් ගමන පටන් ගන්න මෙයා දින පහක් තිස්සේ පයින්ම ඇවිදගෙන තමයි නුවරට එන්නේ. එන අතරතුර මගදි හමුවන පන්සල් වල තමයි මෙයා රාත්‍රිය ගත කරන්නේ. දළදා පෙරහැරට විතරක් නෙමෙයි රත්නපුර මහ සමන් දේවාලයේ පෙරහැර, බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, ගම්පහ සාම විහාරයේ පෙරහැර, කඩුවෙල රන්කඩුදේවාල පෙරහැර හා වාද්දුව පෙරහැර වගේ සහභාගී වන සෑම පෙරහැරකට එයා යන්නේ පයින්ම තමයි.

දැනට වයස අවුරුදු 61ක් පමණ වන නැදුන්ගමුවේ රාජා ඉන්දියාවේ මහාරාජා කෙනෙකුගෙන් අපේ රටේ භික්ෂූන් වහන්සේ කෙනෙකුට ලැබුණු තෑග්ගක්.  මයිසූර් ප්‍රාන්තයේ මහරාජා වරයෙකුගේ රෝගයක් නිට්ටාවටම සුව කළ නිසා මේ තමයි මේ ඇත් පැටවා ස්වාමීන්වහන්සේට පූජා කරල තියෙන්නේ. මේ ඇත් රජුගේ වත්මන් හිමිකරු වන්නේ නැදුන්ගමුව සුප්‍රසිද්ධ වෙද පරපුරේ දක්ෂ වෛද්‍ය වරයෙකු වන වෛද්‍ය හර්ෂ ධර්ම විජය මහතායි.

ඇතුන් මද කිපුනු විට කිසි විටකත් පෙරහැරකට සහභාගී කර නොගන්නේ ඔවුන් ඉතාමත් කලබල කාරී ලෙස හැසිරෙන නිසායි. එහෙත් මේ ඇතා නම් මද කිපුණත් පෙරහැරේ කිසිම කළබලයකින් තොරව ගමන් කරන්නේ දළදා වහන්සේට එයාගේ තිබෙන ගෞරවය නිසා වෙන්න ඇති. මෙවැනි ගෞරවයක් නදුන්ගමුවේ රාජා සතුව තිබීම නිසාම මෙවර දළාදා පෙරහැරේ දළාදා වහන්සේ රැගත් කරඩුව වැඩමවීමේ භාග්‍ය හිමිවීම පුදුමයට කරුණක් නොවේ.

 

 

Related articles

 

© 2015 srilife.lk