තිරිසන් සතකුව ඉපදුනත් තම වර්ගයාගේ නිදහස වෙනුවෙන් තනිවම සටන් කල ඇත් රජු

ශ්‍රී ලංකාවේ අතීතයේ සිටි සමහරක් පාලකයින්ගේ හා බලවතුන්ගේ ආත්මාර්ථකාමී අදහස් සහ කාලකන්නි තීරණ හේතුවෙන් එදා සිට අද දක්වා මේ බිමේ උපන් මිනිස්සුන් පමණක් නොව සතා සීපාවන්ට පවා තවමත් වන්දි ගෙවන්නට වන ක්‍ෂේත්‍ර බොහෝය. මේ තවත් එවන් වරදක් ජීවිත පරිත්‍යාගයෙන් නිවැරදි කල හස්තිරාජයකුගේ කතාවක්ය...

 ඇත්ගාලක් යැයි කියූ සැනින් ඒ ගැන හරිහැටි නොදන්නා අයකුගේ සිතට අභිමානයක් දැනුනත්, ඉඩෝරයට වතුර පොදක් සොයා කලුකන්දාව කදු පාමුල දිය කඩිත්තට ඇදෙන නිදහසේ වැව් ඉවුරු වල වනාන්තර වල කාලය ගතකල අලි රංචුවක සිටින අලින්, ඇතින්නියන්, කිරිබොන පැටවුන්,ගැබ්බර ඇතින්නියන් ආදිය අල්ලා එකිනෙකාගෙන් වෙන්කර වෙන්දේසියේ විකිණීම යනු සොබාදහමෙන් යැපෙමින් සොබාදහම‍ටම අවසන් හුස්ම පොද මුදාහරින මිනිසෙකුට එයට කල හැකි උපරිම ද්‍රෝහිකමක් නොවේදැයි .. ඔබටද මටද සිතෙනවා නම් එය සාධාරණය. ‍

අතීතයේදී පනාමුර යනු මඩුවන්වෙල වලව්වේ පුද්ගලික දේපලක් ලෙස සලකා ඇති අතර කතරගම දේවාලයේ මුර භටයන් 50 ක් මුරට සිටි බැවින් පනහමුර ලෙස භාවිතා වී පසුව එය පනාමුර ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ පවතී. අක්කර 7000 කින් පමණ සමන්විත වූ පනාමුර නින්දගම එවකට උඩරට පාලනය කල ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් සන්නසක් මගින් මඩුවන්වෙල මොහොට්ටාලට ප්‍රදානය කරන ලද්දකි. විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙම පරපුරේ අවසානයා විය. ඔහු විසින් මෙම පනාමුර ප්‍රදේශයේ ඇත් ගාල් 20 ක් පමණ කරවූ බව පැවසේ. මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක නවරත්න වික්‍රමසිංහ වේහැල්ල මුදියන්සේලාගේ ප්‍රැන්සිස් මොලමුරේ මහතාටය. ඔහු විසින්ද ඇත්ගාල් 5 ක් බන්දවා ඇති අතර මේ අනුවේදනීය කතාවට පාදක වූයේ මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන ඇත්ගාලයි.

අඩි දහයක් දොලහක් උසට දැව කදන් වලින් ශක්තිමත් ව සෑදුණු ඇත්ගාලේ වැට අලි ඇතුන් ට අවසන් වතාවට සුපුරුදු මංකඩින් දිය කඩිත්තට පැමිණීම සදහා විවර කල දොරක් ද සහිතය... අලි රංචුව වට කල භූමියට පැමිණි පසු දොර වසා වැට අසල ගිණිමැල දල්වන්නේ කලබල වූ අලින් වැටට පහරදීම වලකාලීමට ය එතැන් සිට ඇත්ගාලේ කටයුතු ආරම්භ විය ...හීලෑ අලන්ට මැදිකර අල්ලා බැද දැමූ හස්තියකුගේ පාද රැහැන් වලට කැපී කෝපාවිෂ්ඨ වූ හස්තියකුගේ වේදනාදනාව මුසු කෑ ගැසීමක් .. මවගෙන් වෙන්කල කිරිබොන වයසේ පැටියකුගේ මව වෙත යාමට දරන උත්සාහයක්.. නම මුලට ශ්‍රිමත් යැයි දමාගත් මිනිස් වෙස්ගත් නොමිනිසෙකුගේ අනින් මෙලෙස තප්පරයෙන් තප්පරය වැඩි කරවන තම වර්ගයාගේ වේදනාව දැක නායකයෙකුව කෙසේ ඉවසන්න ද...

අලි රංචුවම බැද දමා හමාරය එහෙත් වඩා විශාල නොවු අඩි නවයක පමණ පෘෂ්ටිමත් සද්දන්තයෙකු නිදහස වෙනුවෙන් තවමත් සටනේය.. දමන රැහැන් බිදිමින් ගාල තුල කලබල කරන අලියෙකු නිසා ගාලේ සියලු කටයුතු අඩපනය. අල්ලා ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන ගාලෙ දොර හරියන්නේ මේ කරදරකාරයා ට කැලයට හෝ පලායාමටය.. නමුත් රට දැය වෙනුවෙන් දිවිපිදූ රණව්රුවෙකු මෙන් හස්තියා නැවතත් ගාලේ තමන්ගේ උන් අසලට පැමිණෙන්නේ නියම නායකයකුගේ ලක්ෂණ හුවා දක්වමින් ය..

අවසානයේ දී ප්‍රැන්සිස් මොලමුරේ විසින් ගන්නා තීරණය මේ බුදුන් වැඩි රටේ මනුෂත්වයක් ලැබුවකුට ගත හැක්කේ කෙසේදැයි අදටත් අප සිතට ගැටලුවකි.. 1950 අගෝස්තු 5 දින එවකට නාවික හමුදාවේ වෙඩික්කරුවකු වූ සෑම් කදිරගාමර් ට මොලමුරේ ගෙන් ලැබුණු අණ පරිදි හස්තියාගේ හිසට වෙඩි තබා ගාතනය කරන්නේ ... එක් අමානුෂිකයෙකු නිසා එතෙක් ලොව පුරා අවිහිංවාදින් ලෙස ප්‍රචලිත වු ලක්වැසියන් ගේ නාමය කැලලක් එක් කරමින් ය.

එදා දින රෑ පහන් වන තුරුම පනාමුරේ ඇත් රජු ගේ සිරුර ඇත් ගාලේ දැවී යන්නට ඇත ... ඒ අලු සුළගට මුසූ වී රැහැණින් බැදි අනෙක් හස්තීන් ගේ සිරුරු ස්‍පර්ශ කරමින් හමා යන්නට ඇති.. එයින් ලංකාවේ ඇත් ගාල් තහනම් විය ... නමුත් මොලමුරේ ලා කල ඒ විනාෂය නොවෙන්න ට අදටත් ලංකාවේ වනාන්තර වල ඇත් පරපුර බහුලය... 

සටහන-තීක්ෂණ වෙදගෙදර

Related articles

 

© 2015 srilife.lk