රිටිගල අංගම් ශිල්පයට උපත දුන් මහසෝන් යක්ෂයා කවුරුන්ද?

වසර 30000ක පමණ දීර්ඝ ඉතිහාසයක් ඇතැයි සැලකෙන හෙළ අංගම් සටන් කලාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකෙන්නේ රාවණ රජුගේ සමයයි. ඉන්පසු ලාංකීය ඉතිහාසයේ අංගම් සටන් කලාව හා බැඳි ප්‍රභලම නාමයක් වෙතොත් ඒ ‘‘රිටිගල ජයසේන“ නම් යක්ෂ සේනාධිපතියාගේ නාමයයි.  දුටු ගැමුණු යුද්ධයේදී අතිශය වැදගත් සන්ධිස්ථානයක් වූ විජිතපුර සතුරු බලකොටුව දිනා ගැනීමට රිටිගල ජයසේන යක්‍ෂ සේනාධිපතියා හා ඔහුගේ සේනා පිරිවරගේ සහය දුටුගැමුණු කුමරුට ලැබුණි. මෙම රිටිගල යක්‍ෂාධිපති රිටිගල අංගම් හරඹයේ ආරක්‍ෂකයාටද වන්නේය. ඔහුගෙන් පැවත එන මෙම ශිල්ප පිළිබඳ සුවිශේෂී පුරාවෘත්තයක් රිටිගල අංගම් හරඹ ශිල්පය තුළ වේ.

එම පුරාවෘත්තය මේ ආකාර වේ. රිටිගල මහකන්ද අසල පුංචි ගමකි. එය නම්න් “කළු එබේ” නම් වේ. මේ ගමේ පුංචි පවුලක් වාසය කළේය. මව පියා සහ පුතු මේ පවුලේ සාමාජිකයෝ වූහ. මේ කුඩා දරුවාගේ නම ජයසේනයි. පියාට විශාල ගව පට්ටියක් සිටියේය. මවගේ කාර්යය වූයේ මේ ගවයන්ගෙන් ගන්නා කිරි මිදවීමයි. දිනක් කිරි හරක් පට්ටිය දක්කාගෙන එන ජයසේනගේ පියාට කඩුල්ල ලඟදී කෙනෙක් පහර දුන්හ. ජයසේනගේ පියාත් නොහදුනන පුද්ගලයා සමග සටනට වැදුණි. අන්තිමේදී සතුරු පුද්ගලයාගේ බලවත් කම පෙන්වමින් ජයසේනාගේ පියාව අහසට ඔසවා පොළවේ ගසා මරා දමන ලදී. පුංචි ජයසේන මේ සිද්ධිය බලා සිටියේය. තම පියා මරා දැමූ මේ ආගන්තුකයා මව දෙසට එමින් සිටිනු දක්නා ලදී. සිද්ධිය වූ දෙසට පිටුපා හට්ටිවලට කිරි වත්කරමින් සිටි ජයසේනගේ මව මේ කිසිවක් දැන සිටියේ නැත. තමා සකස්කළ කිරි හටිටි පාගා පොඩි කරමින් තමා දෙසට එන පුද්ගලයා දුටු මව බියට පත්විය. එක් කිරි හට්ටියක් තමා දෙසට ළංකර ගනිමින් එය තමාගේ පුතාට යැයි කියා එය විනාශ නොකරන ලෙස කියත්ම මවට පහදී මරා දමන ලදී. ආගන්තුකයා ආපසු හැරී වනගත විය.

මේ සිද්ධිය පුංචි ජයසේන සියැසින් දුටුවේය. මිය ගිය මවත් පියාත් දේවත්වයට පත් විය. පුංචි ජයසේන තරුණයෙක් බවට පත්වන තෙක් දේවත්වයේ සිටින දෙමාපියන් ඔහු රැකබලා ගත්තේය. තරුණ වියට පත් ජයසේනගේ සිතෙහි තැන්පත් වූයේ එකම බලාපොරොත්තුවකි. ඒ දෙමාපියන් තමා ඉදිරියෙහි ඝාතනය කළවුන්ගෙන් පළිගැනීමයි. දිනක් තමාගේ අවශ්‍යතාව ජයසේන ආරක්ෂක දේවතාවන් ලෙස පෙනී සිටින දෙමාව්පියන්ට සැලකර සිටියේය. ඔවුහු මොහුගේ අදහස දැන් මහත් කම්පාවට පත්වූහ. තරුණ ජයසේනට මේ අදහස අත්හරින ලෙස ඉල්ලීම් කළමුත් එය අසාර්ථක විය. එදා තමන්ව මරා දැමුවේ මහසෝන් යක්‍ෂයා බවත් ඔහු සමග සටන් කිරීම තබා මුණගැසීමටවත් නොසිතිය යුතු බවත් ඔවුහු ජයසේනට සැලකර සිටියහ. නමුත් ජයසේනගේ අදහස වෙනස් කිරීමට ඔවුනට නොහැකි විය. තම දිවිය දෙවැනි කොට තම දෙමව්පියන් මැරූ පළිය ගැනීමට ඔහු තීරණය කළේය. පසුව දෙමාපියන් තම පුතුගේ ජීවිතය බේරා ගැනීමේ අභිප්‍රාය පෙරදැරිව මහසෝනාට දඬුවම් දීමට ක්‍රමයක් යෝජනා කළහ.

එය මෙසේය. ජයසේනගේ ශරීරයට මහසොහොන් යක්‍ෂයා ආරූඪ කරගෙන මහ විශාල පාපකර්ම සිදු කරමින් මහසෝනාට පව් පුරවා අපායට යැවීමයි. ඒ යෝජනාවට තරුණ ජයසේන එකඟ විය. මවගේත් පියාගේත් උදව් ඇතිව මහසෝහොන් යක්‍ෂාධිපතියාව ජයසේන විසින් ආරූඪ කරගන්නා ලදී. ඉන්පසු ප්‍රදේශයේ සතා සිව්පාවා මරමින් රිටිගල වනය හරහා යන එන මිනිසුන් මරමින් නිවාස හා අනෙකුත් දෑ විනාශ කරමින් පාප කර්මයෙහි නියැලිණි. මෙසේ කරමින් දින, සති, මාස, අවුරුදු ගතවිය. “ජයසේන යක්ෂයෙක් වෙලා” යැයි මිනිසුන් අතර බිය පැතිරී ගියේය. ඔවුන් දන්නේ තරුණ ජයසේන මෙම විනාශකාරී කටයුතු කරන බවයි. මහසෝනා ආරූඪ වී ඇති බව නොදන්නා මිනිසුන් ජයසේන යන නාමයට පවා බියට පත්විය. ප්‍රදේශය ජන ශූන්‍ය විය. මේ අතරේ කොපමණ පාප කර්මයන් සිදු කළත් මහසෝනා අපායට නොයන බවත් මහසෝනාගේ කර්ම ශක්තිය අනුව මෙවැනි විනාශකාරී ක්‍රියාවන් කල්ප ගණානාවක් වුවත් කළ හැකි බවත් ජයසේනගේ මවත් පියාත් දැනගත්හ. ඒ නිසා මහසොහොන් ආරූඪයෙන් ඉවත්විය යුතු බව මව සහ පියා ජයසේනට දන්වා සිටියහ. කිසිදා මේ වෛරය පිරිමැසිය නොහැකි බවත් ජයසේනට තේරුම් ගියේය. ඒ නිසා දේවත්වයෙන් සිටින දෙමාපියන්ගේ බසට අවනත වී ආරූඪයෙන් ඉවත් වීමට ජයසේන උත්සාහ ගත්තේය.

එනම් එය කළ නොහැකි දෙයක් බවට පත්වී හමාරය. මහසෝනා විසින් ජයසේනගෙන් ඉවත්වීම ප්‍රතික්‍ෂේප කෙරිණි. ඔවුන් දෙදෙනොගේ බැඳීම එතරම් ශක්තිමත් වී තිබුණි. පසුව මේ පව්කාර ජීවිතයෙන් මිඳීමටත් මිනිසුන්ගේ බිය නැතිකර පෙර තිබූ ආකාරයට අවට පරිසරය පත් කිරීමටත් තමාන් මිය යා යුතු බව ජයසේන තීරණය කළේය. ඒ අභිප්‍රායෙන් ජයසේන ගෝඨයිම්බර යෝධයා සමග සටනකට මුලපිරුවේය. පසුව මෙම සටන විශාල ජන සංඛ්‍යාවක් ඉදිරියේ රිටිගලදී සිදුවිය. මෙහිදී ගෝඨයිම්බර අහසට නැඟ ඔල්ල කළ පා පාහරින් ජයසේනගේ හිස කඳින් වෙන් වී මැරී වැටුණි. මේ දර්ශනය දුටු මිනිසුන් ප්‍රීතිඝෝෂා නැඟූහ. නැවත තමන්ට කරදරයකින් බාධාවකින් තොරව ජන ජීවිතය ගෙන යා හැකි යැයි සැනසුම් සුසුම් හොලූහ. රිටිගල අවට ගම්මාන යථා තත්වයට පත් විය. ජයසේන යක්‍ෂ ආත්මයක් ලබා රිටිගල වනයේ සැඟවී ගියේය.

තමන් සිදුකල පාප ක්‍රියාවලින් මිදීමට භාවනාවේ යෙදී රිටිගල වන අරණ වාස භූමිය කරගත්තේය. නැවත පව් නොකොට මිනිසුන්ගෙන් සතුන්ගෙන් දුරස් වී සැඟවී සිටියේය.

පසු කාලයක ඉන්දියාවේ මාලයාල දේශයේ සිට පැමිණ රිටිගල හරහා ගමන් කරමින් සිටි ශාස්ත්‍රකරුවෙකුගේ ඥානයට රිටිගල සැඟවීසිටින බලවත් යක්‍ෂයකුගේ ඉඟියක් ලැබුණි. ඔහු ඒබ ව තම ශාස්ත්‍රානුකූල ඥානයෙන් සොයා බැලීය. අවසානයේ දී මෙහි සැඟවී බවුන් වඩන රිටිගල ජයසේන නම් වූ යක්‍ෂ සේනාධිපති ගැන තොරතුරු සොයාගන්නා ලදී.

පසුව ඒ අවට තිබූ ගම්මානයක ගම් නායකයකුගේ සහාය ඇතිව රිටිගල වනයට වැදී ජයසේන යක්‍ෂයාව සෙවීම අරඹන ලදී. දින සති මාස ගණන් ගෙවී එක්තරා දිනයක මොවුන්ට ජයසේන යක්‍ෂ සෙනවි මුණ ගැසුණි. ඔහු බලවත් වී සිටින්නේ මහාසෝනා සමඟ එක්වී සිටින නිසා බව දත් මලයාල ශාස්ත්‍රකරු ජයසේන සතු ඒ බලය තමන්ට ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. ජයසේන යක්‍ෂයා එය ප්‍රතික්ෂේප කළේය. තමන් මේ ලැබූ බලය නිසා මහා පව්කාරයකු වී අදටත් දුක් විඳින බැවින් එය ලබා දී තවත් පව්කාරයන් බිහි නොකරන බව ඔවුන් ඉදිරියේ පෙනී සිටි ජයසේන කියා සිටියේය. නමුත් මලයාල ශාස්ත්‍රකරු මන්ත්‍ර බලයෙන් ජයසේන යක්ෂයා බන්ධනය කර ගැනීමට උත්සාහ ගනිද්දී මලයාල ශාස්ත්‍රකරුට නොව ගම් නායකයාට තමා සතු ශිල්පය ලබා දීමට එකඟ විය.

මේ ශිල්පය භාවිතා කොට පාපකර්ම සිදු නොකරන බවටත් කල්පයක් යන තුරු සටනට අධිපති සටන් දෙවියන්ට පින්පෙත් අත්කර දෙන බවටත් පොරොන්දු  කරගනිමින් ශිල්පය ලබා දෙන ලදී. ගම් නායකයා මේ ශිල්පය ලබා ගත්තේය. ඔහු ඒ ශිල්පය ලබාගත් නායක පරපුර මේ ශිල්පය නොකඩවා බොහෝ කල් පවත්වාගෙන ගියහ. පාරම්පරිකව පැවත ආ මේ සටන් ශිල්පයට උරුමය කියන නායකයා සමඟින් ජයසේනගේ ආත්මය සැරිසැරුවේය. ඒ නිසා මේ සටන් ශිල්පයේ ප්‍රබලත්වය එකලෙස පැවතිණි. “රිටිගල විශුද්ධි අංගම් හරඹයේ” පුරාවෘත්තය එයයි.

කර්ම සඟරාවේ පළවූ ලිපියක් ඇසුරින්

Related articles

 

© 2015 srilife.lk