සිහිනය වෙනුවෙන් සටන අත්නොහල සටන් නළුවා

ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සිහින හඹායන්නන්ට

උපතින්ම ඔහුගේ මුහුණේ වම් පස කොටස අකර්මණ්‍යව තිබුණි. එයින් ඔහුගේ මුහුණට තරමක විරූපී පෙනුමක් ලැබී තිබූ අතර ඔහුගේ වචන අපහැදිලි විය. එහෙත් කුඩා කල සිට ඔහුගේ සිතේ එක් ඉතා පැහැදිලි අරමුණක් විය. ඔහුට අවශ්‍ය වුනේ හොලිවුඞ් පුරයේ දැවැන්ත නළුවෙකු වීමටය. එහෙත් ඔහු උපතින්ම ගෙන ආ අසාමාන්‍ය පෙනුම සහ අපහැදිලි කටහඩ එය කිසිවිටෙකත් පහසු කටයුත්තක් බවට පත් නොකළේය.නළුවෙක් වන්නට සිතා ඔහු තිර පරීක්‍ෂණ වලට ඉදිරිපත් වූ සෑම විටකම පරීක්‍ෂකයින් ඔහුව උපහාසයට ලක් කරමින් ප්‍රතික්ෂේප කරන්නට විය. මේ අයුරින් අවස්ථාවන් දහසක දී පමණ පරීක්‍ෂකයින් ගේ උපහාසාත්මක සිනා මැද ඉවත්ව යන්නට ඔහුට සිදුවිය. අවස්ථා දහසක දී ප්‍රතික්ෂේප වීම සමාන්‍ය පුද්ගලයෙකුට නම් තම සිහිනය අතහැර දැමීමට ඕනෑවටත් වඩා හේතු සපයන්නක් වුවත් මොහු තුල තිබූණේ සාමාන්‍ය සිහිනයක් නොවීය. මොන තරම් බාධක මැද්දේ වුවත් තම නළු සිහිනය අත්හරින්නට කිසිසේත් ඔහු තුල කැමැත්තක් තිබුණේ නැත.
මේ අතර ඔහුගේ ආර්ථික ප්‍රශ්න ද උග්‍ර වන්නට වූ අතර හිඟ බිල්පත් ගෙවීම සඳහා තම බිරිඳගේ රන් මාලය ඇයට නොකියා හොර රහසේම විකුණා දමන්නට සිදුවිය. වැඩි කල්යන්නට මත්තෙන් තත්වය තවත් බරපතල විය. ඒ වන විටත් නිවසේ මාසික කුලිය ගෙවා ගැනීමට තරම් ප්‍රමාණවත් මුදලක් නොමැති වූ නිසා නිවසින්ද පිටවන්නට ඔහුට සිදු වූ අතර සති තුනක කාලයක් නිව් ජර්සි හි බස් නැවතුමේ රැය පහන්කරන්නට සිදුවිය. ඔහුගේ හොඳම මිතුරා මෙන් සිටි බලු සුරතලාට අවශ්‍ය ආහාර ලබා දීමට තරම්වත් මුදලක් නොමැති  වූ නිසා නන්නාදුනන පුද්ගලයකුට ඩොලර් 25කට තම සුරතලා අලෙවි කිරීම හැර වෙනත් විකල්පයක් ඔහු වෙත නොවීය.  ඔහුගේ ජීවිතයේ අභාග්‍ය සම්පන්නම කාලයේ එක් දිනක දී ඔහුගේ ජීවිතය වෙනස් කරන සිතුවිල්ල පහල වන්නට විය. සුපිරි බොක්සිං ක්‍රීඩක මොහොමඞ් අලී තරඟ කල බොක්සිං තරඟයක් නරඹමින් සිටින විට ඔහුගේ මනසට එකවරම සිනමා තිර පිටපතක් ලීවිමට අවශ්‍ය මුලික අදහසක් පැන නගින්නට පටන් ගත්තේය. ඔහු ඉක්මනින් ක්‍රියාත්මක විය. ඔහුට නින්ද අමතක වූ අතර එකදිගට දින තුනක් පුරා තිරපිටපත අවසන් වන තුරුම ලිවීම අත්නොහැරියේය. 
ඔහුට අවශ්‍ය වුනේ එම තිර පිටපත නිෂ්පාදකයෙකුට ලබා දී එහි ප්‍රධාන චරිතය රඟපෑමට අවස්ථාවක් ලබා ගැනිමයි. ඔහු එම තිරපිටපත චිත්‍රපට නිෂ්පාදකයින් කිහිපදෙනෙක්ටම ඉදිරිපත් කල අතර එක් නිෂ්පාදකයෙක් ඩොලර් 125000 ක මුදලකට එය මිලදී ගැනිමට කැමැත්ත පල කර සිටියේය. එහෙත් එහි ප්‍රධාන චරිතය රගපෑමට ඔහුට අවස්ථාවක් ලබාදීම නිෂ්පාදකයා එකහෙලාම ප්‍රතික්ෂේප කළේය. එය ඉතා හොඳ මිලක් වුවත් ඔහුගේ සිහිනය එය නොවූ නිසා එම ගනුදෙනුව සිදු කිරීමට අකමැත්ත පල කළේය. වෙනත් නිෂ්පාදකයෙක් ඩොලර් 225000ක මිලක් ඔහුගේ තිරපිටපතට ලබාදිමට කැමැත්ත පල කලත්, රගපෑමට අවස්ථාව නොලැබෙන බැවින් එයද අතහැරදැමීමට ඔහු පසුබට නොවීය. අවසානයේ දී එම නිෂ්පාදකයා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ නම් ඩොලර් 35000ක සුළු වැටුපක් පමණක් ගෙවන්නට යෝජනාවක් ඉදිරිපත් කළේය. ඔහු එයට එකඟ විය. නළු සිහිනය නිසා විශාල මුදලක් අත්හැර දමා ඔහු විශාල මෝඩකමක් සිදුකල බව බොහෝ දෙනා සිතුවේය.
නමුත්.....
ඩොලර් මිලියනක වියදමක් දරා නිර්මාණය කල Rocky නම් වූ එම චිත්‍රපටය හොලිවුඩයේ මහත් ආන්දෝලනයක් ඇති කල අතර නිෂ්පාදකයින් සිහිනයෙන්වත්  බලාපොරොත්තු නොවූ ලෙස ඩොලර් මිලියන 200 ඉක්ම වූ ආදායමක් ලබන්නට විය. අසාමාන්‍ය පෙනුමත් අපැහැදිලි උච්චාරණයත් නිසා නළුවෙකු වීමට නුසුදුසු බව කියා ප්‍රතික්ෂේප කල ඔහු හොලිවුඩයේ නවතම සටන් නළුවා ලෙස චිත්‍රපට ලෝලීන් අතර ජනප්‍රිය වන්නට පටන් ගත්තේය. ආදායම් අතින් අතිශය සාර්ථක වූ මෙම චිත්‍රපටය ඔස්කාර් සම්මාන උළලේදී හොදම චිත්‍රපයට, හොඳම අධ්‍යක්‍ෂණය ඇතුළු ඔස්කාර් සම්මාන තුනක් ද දිනා ගත්තේය. පසුගිය දශකයේ හොලිවුඩයෙන් බිහි වූ සුපිරි සටන් නළුවෙක් ලෙස අවිවාදයෙන් සැලෙකෙන සිල්වෙස්ටර් ස්ටැලෝන් ගේ සාර්ථකත්වයේ කතාව මෙයයි. උපතින්ම උරුම වූ ආබාධ තත්වය, අතොරක් නොමැති ප්‍රතික්ෂේප වීම් හා උග්‍ර ආර්ථික ගැටළු හමුවේ තම සිහිනය දියවී යන්නට ඉඩ නොදුන් ඔහු, අවසානයේ දී අමතක නොවන හොලිවුඞ් චිත්‍රපට රැසක් හරහා ලොව පුරා ජනයාගේ ආදරය දිනා ගන්නට සමත් මහා නළුවෙක් බවට පත්විය. ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සිහින හඹායන්නන්ට සිල්වෙස්ටර් ස්ටැලෝන් නැමති මේ දැවැන්ත නළුවා තරම් වෙනත් ආදර්ශයක් මෑත ඉතිහාසයෙන් සොයාගන්නට නොහැකි වනු නියතය.

Sub title: 
ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් සිහින හඹායන්නන්ට

Related articles

 

© 2015 srilife.lk