ඔබත් නිවන් මග යන්නේ ඉබ්බෙක් වගේ ද? බලන්න.

 

ඔයාලා දන්නවනේ ඉබ්බා කියන සතා දිය ගොඩ දෙකේම හැසිරෙන සත්වයෙක් කියලා.අපි හැමදෙනාම අහල තියන දැකල තියන ඉබ්බා උපමා කරගෙන අපේ බුදුහාමුදුරුවෝ ඉතා වටිනා දිවිමග පහන් කරන නිවන් දෙරටුව විවර කරන ශ්‍රේෂ්ඨ දහම් කරුණු රාශියක් දේශනා කරලා තියෙනවා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ වම්මික සුත්‍රයේ (තුඹස උපමා කොට වදාළ දේශනාව) ඉදිඹුවකුගේ කට්ට සහ අපේ පංචස්කන්ධය පිළිබද මනා විවිරණයක් ලබා දෙනවා. ඔයාලා දන්නවානේ ඉබ්බට උපතින්ම උරුමවෙලා තියෙන්නේ ඉඹි ගමනක් කියලා. ඉඹි ගමන කියන්නේ බොහොම හෙමිහිට යන එකක් නේ. නමුත් මේ ඉබ්බා ඉතාම ආඩම්බරෙන් තමයි ඉබ්බාගේ කට්ට දිහා බලන්නේ.ඌ ඒකට ගොඩාක් ආදරෙයි. හැබැයි ඌ දන්නේ නෑ ඌට ඉබි ගමනක් උදාකලේ ඌ උජාරුවෙන් හිතාගෙන ඉන්න ඌ ආදරය කරන ඉබි කට්ට කියලා.අන්න ඒ වගේ තමයි යම් පුද්ගලයෙක් ඉබ්බා කට්ටට ආදරේ කලා සේ මේ ජරා ජීර්ණවන ස්වභාවයෙන් පවතින ඇට මස් ලේ නහර වලින් ගැවසුන ශරීරයට ආදරය කලහොත් ඒ තුල බැදුනොත් ඔහුටත් නිවන් මග ගමන් කරන්න වෙන්නේ ඉඹි ගමනක් ලෙසින්.

තව වරකදී බුදුරජාණන් වහන්සේ කච්චප සූත්‍රයේදී පංචඉන්ද්‍රියන් සහ ඉබ්බා උපමාකරගෙන ලස්සන සූත්‍රයක් දේශනා කලා.අර ඉහතදී කිව ඉබ්බාට කට්ටෙන් ඉලියට දාගෙන යන කෑලි කීයක් තියනවද කියලා ඔයගොල්ලෝ දන්නව ද? ඒයාට කෑලි පහක් කට්ටෙන් ඉලියට දාගෙන යන්න පුළුවන් ඒ තමයි කකුල් හතර සහ ඔළුව, දිනක් ඉබ්බෙක් මේ කෑලි පහම ඉලියට දාගෙන ගමනක් ගියා.බඩගිනි වු නරියෙක් කෑම සොයාගෙන යනකොට මේ ඉබ්බා දැක්කා.මේ නරියා ඉබ්බා ගොදුරක් කරගන්න හිතාගෙන ලගට ගියා.මෙය දැක්ක ඉබ්බා උපක්‍රමශීලීව තමන්ගේ අවයවයන් කටුව තුල සගවා ගත්තා.නරියා එකම අණ්ඩක් හෝ එලියට දැමු විගස කඩාගෙන අහාර ගන්නවා යැයි සිතා එතනම වාඩි වී බලාගෙන සිටියා. උපක්‍රමශීලී ඉබ්බා එකම අණ්ඩක්වත් එලියට නොදමා සිටියා.දැන් ඔයගොල්ලන්ට තේරනවනේ බැරිවෙලාවත් එක අණ්ඩක්වත් එලියට දැම්මනම් ඉබ්බට ඒකාන්තයෙන්ම මරණයට පත්වෙන්න සිද්ධ වෙනවා කියලා.මෙසේ බලන් හිටපු නරියා සුන්වූ බලාපොරොත්තු වලින් යුක්තව හාමතේම යන්න ගියා.ඉබ්බා ඉබ්බගේ ගමන නැවත ආරම්භ කලා.

මෙය දේශානකල බුදුරජාණන් වහන්සේ ලෝකයාට වටිනා මහා දහම් කාරණයක් දේශනා කලා.පින්වත් මහ‍ණනි, ඉබ්බාගේ කෑලි පහ අපගේ පංචඉන්ද්රිියට සමානයි.නරියා මාරයා හා සමානයි.පංචඉන්ද්‍රිය කියන්නේ ඇස,කන,නාසය,දිව,ශරීරය යි. මේ පංචඉන්ද්‍රියන් අපි මනාව සංවර කරගත යුතුයි.එකම ඉන්ද්‍රියක් හෝ සංවර කර නොගත හොත් එයම ඔහුගේ විනාශය පිණිස ඒකාන්තයෙන්ම හේතු වන බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාලසේක.

ඒසේ නම් මේ ලිපිය කියවන ඔබත් පංචඉන්ද්‍රිය සංවර කරගෙන සසර දුකින් මිදිමේ මග විවර කරගැනීමට උත්සාහ ගන්න.

 
යටිහලගල රජමහා විහාරයේ විහාරාධිකාරී,
නෙල්ලිලගල ජාත්‍යයන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති
පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන හිමියන්ගේ ධර්ම දේශනයක් ඇසුරෙනි.

Related articles

 

© 2015 srilife.lk