බුදුරජාණන් වහන්සේට පමණක්ම හිමි මහා පුරුෂ ලක්ෂණ ගැන ඔබ නොඇසූ දුර්ලභ කරුණු

මහා පුරුෂයන් හඳුනාගත හැකි ශරීර ලක්ෂණ මහාපුරුෂ ලක්ෂණ කියා හඳුන්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩසිටි අවස්ථාවක දීඝ නිකායේ එන ලක්ඛණ සූත්‍ර දේශනාව කර තිබෙනවා. එහිදී ‘වේදයේ‘ද මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සඳහන්ව ඇතත් ඒ පුරුෂ ලක්ෂණ ඇතිවීමට විශේෂ හේතු ඔවුහු නොදන්නා බව සඳහන් කරමින් පෙර ජාතිවල කල කර්මයන්ට සරිලන පරිදි පහළ වූ මහා පුරුෂ ලක්ෂණ දෙතිස් මෙසේ වදාළ සේක.

 

1. සුපතිට්ඨිත පාදතා

 පෙර ජාතීන් හි ත්‍රවිධ සුචරිතයෙහි කුලදෙටුවන්ට උපස්ථාන කිරීමෙහි හා ලොවුතුරා බුද්ධ රාජ්‍ය ලැබීමට හේතුවන වෙනත් කුසල ධර්ම දැඩි සේ කළ හෙයින් මනාව පිහිටි පා ඇති බව නම් වූ මහා පුරුෂ ලක්ෂණය පහළ විය.

2. පාදතලෙසු චක්කලක්ඛණ

 දෙපා යටිපතුල් හි චක්‍ර ලක්ෂණ පිහිටි බවයි. පෙර ජාතීන්හි බොහෝ දෙනාට හිත සැප පිණිස ක්‍රියා කළ හෙයින්. අනුන්ගේ බිය තැතිගැනීම් නැතිවන පරිදි කටයුතු කළ හෙයින්ද පිරිවර සහිතවම දන් දුන් හෙයින්ද පිරුණු යටි පතුල් හි නිම් වළලු ඇති සක් ලකුණු පහළ වූහ. (උදා- මාගන්දිය බැමිණියගේ කතා වස්තුව බුදුහිමි යටි පතුල් සටහන දුටු වේදය උගත් මාගන්දි බැමිණිය මෙම සිරිපතුල හිමි අය කාමයෙහි නොරැඳෙන බව මාගන්දි බමුණාට කීවාය).

පෙර ජාතිවලදී ප්‍රාණ වධයෙන් ප්‍රාණ හිංසාවෙන් තොරව සියලු සත්නට හිතානුකම්පීව විසූ බැවින්.

3. ආයතපණ්හිතා - දික්විළුම් ඇති බව.

4. දීඝංගුලංතා -  දික් වූ ඇඟිලි ඇති බව.

5. බ්‍රහ්මූජුගත්තතා  - බ්‍රහ්මයාට බඳු සෘජු ශරීර ඇති බව.

6. සත්තුස්සදතා

සත් තැනක පිරිපුන් මාංශ ඇති බව. දෙඅත්ල මතුපිට, දෙපතුල්හි යට, දෙඋරහිසෙහි, හා කරෙහි පිරිපුන් මස් ඇත්තේ වෙයි. පෙර ජාතීන්හි ප්‍රණීත වූ, රසවත් වූ, මිහිරි වූ දෙයම කෑමට හා බීමට දුන්නේ ඒ කර්මය කළ බැවින් මෙසේ විය.

පෙර ජාතීන්හි දානය, ප්‍රිය වචනය, අර්ථචර්යා හා සමානාත්මතා යන සතර සංග්‍රහයෙන් යුක්ත වූ හෙයින්.

7. මුදුතළුණහත්ථපාදතා - මොළොක් තරුණ අතුල් පතුල් ඇත්තේය.

8. ජාලහත්ථපාදතා - දැල් කවුළුවකට බඳු අත්පා ඇත්තේය. (හංසයාගේ පාද වල මෙන් ඇගිලි එකට බැදී ඇත. ඇගිලි එක සමාන වේ)

පෙර ආත්මයන්හි බොහෝ ජනයාට අර්ථ සහිත ධර්ම සහිත වචනම කථා කළ හෙයින්.

9. උස්සංඛපාදතා -  පිරුණු ගොප්මසැති පා ඇති බව. (පය තබන විට මුළු යටි පතුලම බිම ස්පර්ෂ වේ.)

10. උද්ධග්ගලෝමතා - උඩුකුරු අක් ඇති රෝම ඇත්තේය. (උඩු අතට කැරකුණු රෝම පිහිටා තිබීම

11.  එනිජංඝතා

පෙර ජාතීන්හි ශිල්ප, විද්‍යා, චරණ ධර්ම ඉගෙන ලෝවැස්සන්ටත් උගන්වා සුචරිතයෙහි යොදා ලූ බැවින් ඕළු මුවන්ගේ බඳු කෙංඩා ඇති බව වූ මහා පුරුෂ ලක්ෂණය පහළ විය

12. සුඛුමච්ඡවිතා

පෙර භවයන්හි මහණ බමුණන් කරා එළඹ මාන්නයෙන් තොරව කළ යුතු නොකළ යුතු දෑ විමසමින් කුසල් අකුසල් විමසමින් නැවත නැවත විමසමින් ආ පිනෙන් සියුම් සිවිය සහිත සම ශරීරය පුරා පිහිටියහ. මෙනිසාම එහි දැළි කුණු දූවිලි නොරැඳෙන්නේය.

13. සුවණ්ණවණ්ණතා

පෙර ජාතීන්හි නොකිපෙන සුළුව අනුන් පරුෂ වචනයෙන් බැන වදිනා කළ සුළු වශයෙන් හෝ නොසතුටක් නොපහළ කළ හෙයින් සියුම් වූ මොළොක් වූ ඇතිරිලි පොරෝනා වස්ත්‍ර ආදිය දන්දුන් හෙයිනුත් රන්වන් පැහැය ඇති සමකින් යුත් ශරීරයක් පිහිටියේය.

14. කොසොහිතවත්ථගුයිහතා

පෙර ජාතීන්හි අසමගිව සිටි තම නෑදෑ මිතුරන් මුණගස්වා සමගි කරවීමේ පිනෙන් කයෙහි ගිලී සැඟවුණු පුරුෂ නිමිත්ත ඇතිවිය.

15. නීග්‍රෝධපරිමණ්ඩලතා

පෙරභවයන්හිදී මහජනයාට සංග්‍රහ කිරීමේදී සුදුස්සාට සුදුසු තැන තැබීමත් ඔවුනට අවශ්‍ය දෑ දන්දීමේ පිනෙන්ද බඹයක් පමණ උස් වූ වක් නොවූ සිරුරක් පිහිටියේය.

16. ආජානුලම්බිහත්ථත - නොනැමී දෙඅත්ලෙන් දෙදන පිරිමැදිය හැක්කේ පිහිටියේය.

17. සීහපුබ්බද්ධකායතා

පෙර ජාතීන්හි අන්‍යයන් ගුණයෙන් ධනයෙන් වැඩෙනු දැක ඒවාට සතුටු සිතින් ඉවසූ හෙයින් සිංහයෙකුගේ පූර්වඅර්ධ කාය මෙන් මුළු සිරුරම පිහිටියේය.

18. චිතන්තරංසතා - මසින් පිරුනු පිටකර ඇත්තේ වෙයි. (ශරීරයේ අස්ථි නොපෙනෙන සේ මසින් පිරී තිබීම)

19. සමවත්තක්ඛන්ධතා - සම වට වූ ග්‍රිවාව ඇත්තේ වෙයි. (පිරිපුන් බෙල්ලක් සහිත වීම)

20. රසග්ගසග්ගිකා

පෙර භවයන්හි අතින් හෝ කැටයෙන් හෝ දඩු මුගුරෙන් හෝ අවියෙන් හෝ සතුන් නොපෙළන ස්වභාව වූ හෙයින් තල ඇටයක් පමණ වූ ආහාරයක් දිවග තැබූ පමණින් මුළු සිරුර පුරා පිනා යන සත් සියයක් පමණ වූ රස නහර ග්‍රීවහෙයි ඇත්තේ වෙයි.

21. අභිනීලනෙත්‍රා

ද්වේෂයෙන් අනුන් පෙළීම, රවා බැලීම නොකොට, සෘජු සිතින් ප්‍රිය ඇසින්ම බැලූ හෙයින් විශේෂයෙන් නිල් වූ ඇස් ඇත්තේ වෙයි.

22. ගෝපධූමතා - ඒවේලෙහි උපන් රතු වස්සකුගේ ඇස් ගුලිය බඳු ඇස් පියුම් ඇත්තේ වෙයි.

23. උන්හීසසීසතා

පෙර භවයන්හි සුචරිතයෙහි පෙරටුව මහජනයා නිසිමඟ හසුරුවීමේ ප්‍රධාන වූ හෙයින් පිරුණු නළල සහිත පිරුණු හිස ඇත්තේ වෙයි.

24. ලෝමතා

පෙර භවයන්හි අසත්‍යයෙන් වැළකී සත්‍යයම කී හෙයින් එක් එක් රෝම කූපයෙහි එක් රෝමයක් ඇත්තේ වන්නේය.

25. උණ්ණාලක්ඛණතා

දෙබැම අතර නළල මැද දකුණතට කරකැවී ගිය මොළොක් පුලුන් රොදක් බඳු රිදී හුයක් බඳු දකුණට කරකැවුණු ඌර්ණ රෝමයක් හට ගත්තේ වෙයි.

26. චත්තාළීස දන්ත

කේළාම් කීමෙන් වැළකී භේද වූවන් සමගි කරවන වචනම කී හෙයින් සම සතළිස් දත් වූයේ වෙයි.

27. අවිරලදන්තා - හිඩැස් නැති දත් පිහිටියේ වෙයි.

28. පහුතජිව්හා - පරුෂ වචනයෙන් වැළකී ප්‍රියවචනම කී බැවින් මෘදු වූ දික් වූ පුළුල් වූ දිව ඇත්තේ වෙයි.

29. බ්‍රහ්මස්සරතා

බ්‍රහ්මයාගේ මෙන් අෂ්ටාජග ස්වර ගැඹුරු හඩද කොවුලෙකුගේ මෙන් මිහිරි හඩද ඇත්තේ වෙයි.   

     i. පහසුවෙන් ශබ්දය පිටවීම (විස්සට්ඨ)

     ii. අදහස වහා අවබෝධ කරවන බව (විඤේඤය්‍ය)

     iii. මිහිරි හඩ (මංජුතා)

     iv. කන්කළු හඩ (ස්වණීය)

     v. එකකට එකක් ගැළපෙන හඩ (බින්දුතා)

     vi. පැහැදිලි හඩ (අවිසාරීතා)

     vii. ගැඹුරු හඩ (ගම්භීර)

     viii. රැව්දෙන හඩ (නින්නාදී) (බුදු හඩ අදත් විශ්වයේ ඇසෙන බව විශ්වාසයකි). 

 

30. සීහහනුතා

නිශ්ඵල කතාවෙහි තොරව අර්ථ හා ධර්ම වචනම කතා කළ හෙයින් සිංහයෙකුගේ යට හනුව සෙයින් පරිපූර්ණ උඩු යටි දෙහුන ඇත්තේ වෙයි.

31. සමදන්තා - පෙර භවයන්හි මිථ්‍යා ජීවිකාවෙන් තොර වූ හෙයින් සමදත් පිහිටියහ.

32. සුසුක්කදාඨතා

දිලිසෙන ඉතා සුදු දත් පිහිටියහ. යනුවෙන් දෙතිස් මහා පුරුෂ ලක්ෂණ පිහිටි සේක.

ස්ත්‍රි පුරුෂ දේහයන් හි බාහිර පිහිටීම සඳහාද පෙර කරන ලද කුසල් අකුසල් ඉදිරිපත් වන බව මෙයින් පෙනේ. අපි අදටද අංගවිකල බව පවු කිරීමේ හේතුවක් සේ පිළිගනී. ඒ අනුව මෙයද ගළපා ගත හැක. එසේම මිනිසත් බව ලබා ඔවුහු උසස් පහත් ලෙසින් මඳ ආයුෂ දීර්ඝායුෂ, බොහෝ රෝග අල්ප රෝග, අනුවණ නුවණ ආදී වශයෙන් ප්‍රභේදයන් ද කර්මය ස්වකීය කොට කර්මය උත්පත්ති කොට ඇති බව ද මජ්ඣිම නිකාය චූලකම්ම විභංග (135) සූත්‍ර දේශනාවේ සඳහන්ව ඇත.

Related articles

 

© 2015 srilife.lk