බෞද්ධ ලෝකයේ පුදුම 7, ලොව පුරා පිහිටි සුවිශේෂී වූ බෞද්ධ පුදබිම්

Bettany Hughes නම් ඉතිහාස ගවේෂිකාව විසින් ඉදිරිපත් කල BBC නාලිකාවේ විකාශය කරන ලද වාර්තා වැඩසටහනකින් නම් කරන ලද බෞද්ධ ලෝකයේ පුදුමයන් හත මෙහි දැක්වේ. ථේරවාද, මහායාන, සෙන් වැනි විවිධ බෞද්ධ ඉගැන්වීම් සිදුකරන ස්ථාන සියල්ල එක්ව ගෙන  මේ ස්ථාන හත වර්තමාන බෞද්ධ ලෝකයේ පුදුමයන් හත ලෙස නම් කර ඇති බව පෙනේ.

 

බුද්ධගයා විහාරය - ඉන්දියාව

ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභිමුවේ දී බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පැමිණි ස්ථානය බුද්ධගයාවයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් සිදුවු පූජනීය ස්ථාන හතරින් එක් ස්ථානයක් ලෙස මෙය හැදින්වෙනවා. මෙහි මුල්ම විහාරය ඉදිකර ඇත්තේ අශෝක අධිරාජයා විසින් ක්‍රි.පු 3වන සියවසේ දීයි. දැන් පවතින ආකාරයට විහාරය ඉදිකිරීම් සිදුකර ඇත්තේ ක්‍රි.පු 7වන සියවසේ ගුප්ත රජවරුන් විසින්ය. මෙම විහාර භූමියට  බුදුරජාණන් වහන්සේ සත් සතිය ගතකල ස්ථාන 7ත් ඇතුලත්ය. 2002 වර්ෂයේ දී යුනෙස්කෝව විසින් බුද්ධගයා විහාරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.


බෝධිනාත් ස්ථුපය - නේපාලය

බෝධිනාත් ස්ථුපය කත්මණ්ඩු නුවර බෝධා නම් ප්‍රදේශයේ පිහිටා තිබෙනවා. මෙය නේපාලයේ විශාලම ස්ථුපය වගේම ටිබෙට් රටෙන් පිටත පිහිටා ඇති පූජනීයම ටිබෙට් විහාරයයි. මෙය ක්‍රි.පු 14වන සියවසේ දී පමණ ඉදිකරන ලද බවයි සැලකෙන්නේ. 1959 දී චීනය විසින් ටිබෙටය ආක්‍රමණය කිරීමෙන් පසු ටිබෙට් බුදු දහමේ වැදගතම ස්ථානය වුයේ මෙයයි. මෙම ස්ථුපයේ විශේෂත්වයක් වන්නේ ස්ථුපයේ ඉහල කොටසේ හතර දිශාවටම බුදුරජාණන් වහන්සේගේ නේත්‍රා යුගලයන් දක්වා තිබීමයි. අදවන විටත් ටිබෙට් බෞද්ධයන් විශාල වශයෙන් මෙම ස්ථානයේ වන්දනා කිරීමට හා භවනා කිරීමට පැමිණෙයි.


දළදා මාලිගාව - ශ්‍රී ලංකාව

බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස හදුන්වන බුදුරාජාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේයි. රන්, රදී සහ ඇත්දළ වලින් නිම කරන ලද ද්වාර වලින් ආවරණය වී ස්වර්ණමය කරඩු 7ක් තුල ‘වැඩ සිටින මාලිගාව’ නම් කුටියේ ශ්‍රී දළදා වහන්සේ තැන්පත් කොට තිබෙනවා. දළදා මාලිගාව පළමුවන විමලධර්මසූරිය රජතුමා විසින් ගොඩ නගන ලද්දක්. යුනෙස්කෝව විසින් දළදා මාලියාව සහ මහනුවර නගරය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.


වත් පෝ විහාරය - තායිලන්තය

වත් පෝ විහාරය බැංකෝක් නුවර ඇති පැරණිම හා විශාලතම බෞද්ධ විහාරයයි. මෙහි තායිලන්තයේ විශාලම සැතපෙන බුද්ධ ප්‍රතිමාව ඉදිකර තිබෙනවා. මෙම සැතපෙන බුද්ධ ප්‍රතිමාව මීටර් 46ක් දිගින් යුක්තයි.


අන්ග්කෝර් වත් විහාරය - කාම්බෝජියාව

අන්ග්කෝර් වත් විහාරය අග්නිදිග ආසියාවේ ඇති විශාලතම හා පැරණිම විහාරයක්. ක්‍රි.ව 802 -1220 අතර ඛමර් යුගයේදී මෙය ඉදිකර ඇත. 1970 -1980 වර්ෂවල ඇති වු සිවිල් යුද්ධය නිසා මෙම විහාරයට හානි සිදුවුවත් වාසනාවකට ඒවා එතරම් විශාල හානි නොවීය. 1992 වර්ෂයේ දී යුනිස්කෝව විසින් මෙම විහාරය ලෝක උරුමයක් ලෙස නම් කර ඇත. අද වන විට මෙම විහාරය නැරඹීමට  වසරකට 600 000 පමණ සංචාරකයින් පැමිණෙන බව සදහන්.


පෝ ලින් බුද්ධ ප්‍රතිමාව - හොංග් කොංග්

කුඩා විහාරයක් ලෙස 1924 දි ගොඩනගන ලද පෝ ලින් විහාරය වසර කීපයකින් පසු විවිධ කොටස් එකතුවී වර්ධනය විය. පසුව එහි එදිවු විශාල ලෝකඩ බුද්ධ ප්‍රතිමාව නිසා වඩාත් වැදගත් ස්ථානයක් බවට පත්විය. මේ විශාල හිදි පිළිමය මීටර් 34ක් උසින් යුතුවන අතර ටොන් 250ක් බරින් යුක්තය. මෙය නිර්මාණය කිරීම සදහා වසර 10ක් ගතවී ඇත. 1993 දෙසැම්බර් මාසයේ දී මෙම ප්‍රතිමාව බෞද්ධයන් සදහා විවෘත කරන ලදී. හොංග් කොංග් බුදු දහමේ වැදගත්ම ස්ථානය ලෙස හදුන්වනවා.


සී ලායි විහාරය - ලෝස් ඇන්ජලීස්

සී ලායි විහාරය ලොස් ඇන්ජලීස් හි පිහිටි විශාලතම චීන බෞද්ධ විහාරයයි. අක්කර 15ක් පුරා පැතිරී ඇති මෙම විහාරය සෙන් බුදු දහම ඇතුලු චීන බෞද්ධ දර්ශනයන් ඉගැන්වෙන ස්ථානයක්. මෙම විහාරය 1978 දී ඉදිකිරීම් ආරම්භකර 1988 දී නිමකර ඇත. මෙම විහාරයේ වැදගත්ම ගොඩනැගිල්ල වන්නේ ශාක්‍ය මුනිදුන් වෙනුවෙන් ඉදිකල සිද්ධස්ථානයයි. එය ඉදිරිපිට  විශාල බුද්ධ ප්‍රතිමා තුනක් ඉදිකර තිබෙනවා. චීන බෞද්ධ සම්ප්‍රදාය අනුව එයින් මැද ඉදිකර තිබෙන්නේ ශාක්‍ය මුනිදුන්ගේ ප්‍රතිමාවත්, වම් පසින් අමිතාබා බුද්ධ ප්‍රතිමාවත්, දකුණු පසින් වෛද්‍ය බුද්ධ ප්‍රතිමාවත් ය. 


 

Related articles

 

© 2015 srilife.lk