රුවන්වැලි සෑය පිළිබඳ ඔබ මෙතෙක් නොඇසූ අප්‍රකට තොරතුරු

ශ්‍රී ලංකාව අමිල වූ පූජනීය වස්තූන් රාශියකට හිමිකම් කියන දිවයිනකි. ඒ අතරින් අප රට සතු පූජනීයම වස්තුවක් ලෙස රුවන්වැලි සෑ රජාණන් වහන්සේ සැලකිය හැකියි. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණ 8ක් වූ ධාතූන් වහන්සේලාගෙන් එක් ද්‍රෝණයක් තැන්පත් කර අනුරාධපුරයේ ඉදි කර ඇති මෙම සෑ රජාණන් වහන්සේ දුටුගැමුණු මහ රජතුමාගේ නිර්මාණයකි. මෙරට සියළුම බෞද්ධයින් රුවන්වැලි සෑ රජු ගැන බොහෝ විස්තර දැන සිටින අතර මෙම සටහනින් ඔබ නොඇසූ අප්‍රකට කරුණු රැසක් දැනගත හැකිවනු ඇත.

රුවන්වැලි මහා සෑය එම ස්ථානයේ රියන් 120ක් උසින් ඉදිවන බව මිහිදු මහ රහතන් වහන්සේ විසින් දෙවනපෑතිස් රජුට පවසා ඇති බව මහාවංශයෙහි සඳහන් වේ. එය ඉදිකිරීමට සුදුසු ස්ථානය දේවානම් පියතිස්ස රජු විසින් ස්ථම්භයක් ඉදිකොට සලකුණු කර තබා ඇත. එළාර රජු සමඟ යුද්ධයෙන් ජයග්‍රහණය කළ දුටු ගැමුණු මහ රජු තම මුත්තනුවන් මිහිදු හිමියන්ගේ අනාවැකියෙන් පසු ස්ථාපනය කළ ස්ථම්භය පිහිටි ස්ථානයේ රුවන්වැලි මහ සෑය නිමවා ඇත.

රුවන්වැලි සෑයේ වැඩ අරඹා ඇත්තේ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයකයි. මුලින්ම සෑය ඉදිකිරන භූමිය සමතලා කරන ලදී. ඉන්පසු එය රියන් හතක ගැඹුරට කැණ එහි වක්‍රාකාර ගල් අතුරන ලදී.  එම ගල් මිටියෙන් කඩා ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී. එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන ලදී. ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල් පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.

මෙසේ සෑයේ අඩි තාලම සාදවා, සෑයට මුල්ගල් තබා ඇත්තේ ඇසළ පුර පසළොස්වක පෝය දිනයකය. එම උත්සවයට රහතන් වහන්සේලා අනූහය කෝටියක් අහසින් වැඩම කළ බව ථූප වංශයෙහි සඳහන් කර ඇත. ආසියාව, මැදපෙරදිග රටවල් විශාල ප්‍රමාණයකින් මුල්ගල් තැබීමේ උත්සවයට රහතන් වහන්සේලා සහභාගී වීම එකළ සිංහල දේශය ලොව පතලව පැවතීමට හොඳම සාධකයක් ලෙස සැලකිය හැකියි.

මේ දාගැබ බඳින්නට සුදුසු නිර්මාණකරුවෙක් සොයා ගැනීමද රසවත් කථාවකි. දුටුගැමුණු රජතුමා රට පුරා අඬබෙර යැවීමෙන් පසු නිර්මාණකරුවන් 500ක් පමණ දාගැබ බැදීමේ වගකීම ගැනීමට පැමිණ සිටියත්, ඒ කිසිවකුගේ අදහසකට රජුගේ සිතෙහි ප්‍රසාධයක් ඇති නොවීය. එහෙත් එක් තරුණ නිර්මාණකරුවකුගේ පැහැදිලි කිරීමට එතුමා පැහැදුණේය. පසුව ඔහුගෙන් දාගැබ බැදීමට සුදුසු හැඩය විමසා සිටිය අතර එවිට නිර්මාණකරුගේ ශරීරයට ආවේශ වූ විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයා දිය තලියක නැගෙන දිය බුබුලක් පෙන්වා එම හැඩය සුදුසු යැයිද, දිය බුබුළ අනිත්‍ය බව පසක් කරන හොඳම සාධකයක් යැයිද පවසා සිටියා. එයින් ඉතාමත් සතුටට පත් රජු නිර්මාණකරුවාට තෑගි බෝග පිරිනමා සෑය ගොඩ නඟන වගකීම ඔහුට භාරදුන් බව පැවසෙයි.

දාගැඛෙහි පහල පේසා වළලූ 3 නිම කිරීමට ගඩොල් කෝටි 10ක් වැය වූ බව ථූපවංශයෙහි සඳහන් කර ඇත. සෑයක් නිම කිරීමට වැඩිපුරම අවශ්‍ය වන ගඩොල් සෙයාගන්නේ කෙසේදැයි රජු හට විශාල ගැටළුක් ව තිබුණේ එතුමා කිසිවිටෙක යුද්ධයක් නිම කර විඩාවට පත්වී සිටි ජනතාවට මෙම වගකීම පැවරීමට ඇකමැති වීම නිසයි. මේ සිතුවිල්ල දැනගත් දෙවඟනක් එය දෙව්ලොව පුරා දෙවි වරුන්ට දැන ගැනීමට සැලැස්විය. මෙය දැනගත්  විශ්වකර්ම පුත්‍රයා මල්වතු ඔයෙහි නිම්නයේ ගඩොල් මැවූ බවත් ථූප වංශයෙහි සඳහන් වේ. මීට අමතරව සෑයට අවශ්‍ය රන් අවුරුවිනී ග්‍රාමයෙන් ද, රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ද, තම්බපින්න ග්‍රාමයෙන් තඹ ද සමන්වැව ග්‍රාමයෙන් මැණික් ද, උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ද, පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ද ලබා ගත් බව සඳහන්.

රුවන්වැලි මහා සෑයට ධාතූන් වහන්සේලා ලැබෙන අයුරු බුදුරජාණන් වහන්සේ විසින්ම කුසිනාරා නුවර සල් උයනේදී සක්දෙව් රජු කැඳවා පවසා තිබෙන බවත් පැවසෙයි. ‘‘මාගේ අට ද්‍රෝණයක පමණ ධාතූන්වහන්සේලා අතුරෙන් එක් ද්‍රොණයක් පමණ ධාතූහු කෝලිය රජ දරුවන් විසින් පුදු පූජා කරණු ලබන්නොහ. ඒ ධාතු ද්‍රෝණය එන දවස ලංකාද්වීපයෙහි රුවන්මැලි නම් දාගැබෙක්හි පිහිටන්නේය“ යි වදාළ සේක. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනෙන් පසු රාම ග්‍රාමයෙහි කෝලිය රජ දරුවන් ධාතූන් වහන්සේලා තැන්පත් කර නිමවූ දාගැබ පසු කළෙක මහ වැස්සකින් විනාශ වී එහි ධාතූන් වහන්සේ තැන්පත් කරඬුව මහා සාගරයට ගසාගොස් මහා කෙළ නම් නා රජුන්ට හමුවී තිබේ. සෝණුත්තර නම් සාමණේරයන් වහන්සේ විසින් නාලොවට වැඩම කොට නා රජුගේ උපායන්ගෙන් මිදී වාසුලදත්ත නම් නාගයාගේ කුසෙහි සඟවාගෙන තිඛෙන බව දැනගෙන, උන්වහන්සේ සතු සෘද්ධි බලයෙන් කුඩා අතක් මවාගෙන මහාමේර පර්වතය පාමුල සිටි වාසුලදත්තගේ කටට අත පොවා ද්‍රෝණයක් ධාතූන් වහන්සේ සහිත කරඬුව ගෙන පැමිණි බවයි සඳහන් වන්නේ.

දුටුගැමුණු මහරජතුමා මහ සෑය ඉදිරිකිරීම ආරම්භ කළත් එතුමාට සෑය සාදා නිම වන තුරු ජීවත් වීමට හැකි නොවුණි. ධාතු නිධානෝත්සවයෙන් පසු  හතරැස්කොටුව දක්වා එතුමා විසින් මහ සෑය නිම කිරීමට සමත් විය. රජු මරණ මංචකයේ සිටියදී එතුමාගේ බාල සොයුරු සද්ධාතිස්ස කුමරු විසින් රෙදි වලින් කොත් කැරුල්ල නිමවා සෑය සාදා නිම කර ඇති ලෙස දුටුගැමුණු මහ රජුට පෙනෙන්නට සළස්වා ඇත. පසුව මහ සෑය සාදා නිම කළේ සද්ධා තිස්ස රජතුමා විසිනි.

පසු කළෙක සිංහල රජ වරුන්ගේ අගනුවර අනුරාධපුරයෙන් ඈත් වත්ම රුවන්වැලි මහා සෑය ඇතුළු සියළු සෑයන් වල්බිහිවී ගරා වැටුණු අතර රුවන්වැලි සෑයේ කොත් කැරුල්ල, දේවතා කොටුව ගරා වැටී විනාශව පැවතුණි.

මීට වසර සියයකට පමණ පෙර නාරාවිට සුමනසාර හිමියන්ගේ මූලිකත්වයෙන් නැවත පිළිසකර කළ රුවන් වැලි මහ සෑයේ චූඩාමාණික්‍යය පළඳවා ඇත්තේ 1940 ජූනි මස 17 වන දිනයි. වර්තමානයේ සුදෝ සුදුවන්ව බබළන රුවන්වැලි මහ සෑ රජු, බුදු රජුන් වැඩ සිටින සුගන්ධ කුටියට සම කළ හැකි අතර ලෝක බෞද්ධයින්ගේ උතුම් වස්තුවක් සේ පිදුම් ලබමින් විරාජමානව අනුරපුරයේ වැඩ සිටියි.

Related articles

 

© 2015 srilife.lk