සෙංකඩගලින් මුළු ලොවටම දහම් සුවද විහිදුවන නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය දහසකුත් දුක් පීඩා මැද අවුරුදු 6ක අඛණ්ඩ දීර්ග උත්සහයක ප්‍රතිපලයක් ලෙසින් 2014 ඔක්තෝබර් මස 22 වන දින නිල වශයෙන් රජයෙන් මහනුවර අස්ගිරි විහාරවාසි ඓතිහාසික යටිහලගල රජමහා විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍ය වතුරකුඹුරේ ධම්මරතන ස්වාමීන්වහන්සේ තෙරුවන් සතු භූමියක් ලෙස මුදාගෙන මෙම භූමිය සම්බුද්ධ ශාසනයට පූජා කරන ලදී.

ඒ අනුව සූර්ය සිංහ තරුණ සංවිධානයේ තරුණ පිරිසගේ සහ කල්‍යාණ මිත්‍රයන් බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඝන කැලෑවක්ව තිබූ මෙම භූමිය එලි පෙහෙලි කරන ලදී. 

මෙම බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ රජානන් වහන්සේ නමක් රෝපනය කර, ශ්‍රී සාක්‍ය සිංහ මහ සෑ රජුන් උදෙසා මංගල ශිලා ප්‍රතිස්ථාපන පුණ්‍ය කර්මය 2014 නොවැම්බර් 09 වන දින පූජනීය මහ සගරුවනගේ ආශිර්වාදයෙන් දහස් සංඛ්‍යාත බෞද්ධ පිංවතුන්ගේ සාදු නාද මධ්‍යයේ සම්භාවනීය සත් පුරුෂ සාධූන්ගේ සහභාගීත්වයෙන් මෙම භූමිය නිදහස් කරගැනීමේ පටන් උදාර ශාසනික මෙහෙයක් සිදු කරනු ලැබූ ශ්‍රී සාක්‍ය සිංහ සෑ රජුන් සාදා සම්බුදු සසුනට පිදූ නාවල කුෂන් වර්ක් අධිපති ආර්. ජී. ප්‍රේමරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

සියළුම බාධාවන් අභිබවමින්‍, ඉතාමත් කඩිනමින් ඉදිකරන ලද සාක්‍ය සිංහ මහ සෑ රජුන්ගේ ධාතූන් වහන්සේලා නිදානෝත්සවය 2014 පෙබරවාරි 4 වන දින දහස් සංඛ්‍යාත සගරුවනගේ සහ ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් උත්සවශ්‍රීයෙන් සිදුකල ලදී. මෑත ඉතිහාසයේ ඉදි කල සෑ රජුන් අතර වැඩිම ධාතූන්වහන්සේලා ප්‍රමාණයක් තැන්පත් කර ඉදිකල ශ්‍රී ශාක්‍ය සිංහ මහ සෑ රජුන් ශ්‍රී සර්වඥ කේශ ධාතූන්  වහන්සේලා, ශ්‍රී සර්වඥ අස්ථි ධාතූන් වහන්සේලා සහ මහ රහත් ධාතූන් වහන්සේලා වැඩසිටින සුගන්ධවත් කුටියකි.

ශ්‍රී ශාක්‍ය සිංහ සෑයේ වැඩසිටන ධාතූන් වහන්සේලා

 

ඉන් මසකට පසුව මාර්තු 5 වන මැදින් පෝය දින කොත් වහන්සේ නිරාවරණය කරමින් ශ්‍රී ශාක්‍ය සිංහ මහ සෑ රජුන් ශ්‍රී සම්බුද්ධ ශාසනයට පූජා කරන ලද්දේ ගුවනින් පුෂ්ප පූජාවන් පවත්වමින්, කිරිහාර පාත්‍ර 1000ක් සෑ රජුන්ට පූජා කරමින් පවත්වන ලද විචිත්‍ර පූජෝත්සවයක් පවත්වමිනි. මෙම උත්සවය සිරස මාධ්‍ය ජාලය ඔස්සේ සජීව ලෙස සකල ලෝක වාසීන් දැක බලා ගැනිමට හැකිවිය. එතැන් සිට දින 7ක් පුරා අවට ගම්මාන වල ජනයා පෙරහැර පවත්වමින් මහ සෑ වන්දනාව සිදු කිරීමෙන් මෙම විචිත්‍ර උත්සවය නිමාවට පත්විය.

ශාක්‍ය සිංහ මහ සෑ රජු උසින් අඩි 72ක් පමණ වන අතර රුවන් වැලි සෑ රජුන්ගේ ආකෘතියට අනුකූලව නිර්මානය කර ඇති අතර මේ මහා සෑය නිර්මාණය කිරීමට ගත වුයේ වැඩ කරන දින 90ක් වැනි කෙටි කාලයක් විමද සුවිශේෂත්වයකි.

එතැන් සිට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවත් බෞද්ධ පිංවතුන්ට පිං රැස් කරගැනීම පිණිස මහා පු‍ණ්‍යයෝත්සව රැසක් නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විසින් මෙම කෙටි කාලය තුල සංවිධානය කර ඇත.

සිරස වෙසක් කලාපයට ශ්‍රී සර්වඥ කේශ ධාතූන් වහන්සේලා, ශ්‍රී සර්වඥ අස්ථි ධාතූන් වහන්සේලා, 20 නමක් වු මහ රහත් ධාතූන් වහන්සේලා වැඩම කරවන ලද්දේ නෙල්ලිගල ශ්‍රී ශාක්‍ය සිංහ මහ සෑ රජු අභියස සිට ලක්ෂ සංඛ්‍යාත පිංවතුන්ගේ සාධු නාද මධ්‍යයේයි. මෙම පුණ්‍යයෝත්සවය සජීවී විකාශයක් ලෙසි සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ලෝ වැසි බෞද්ධ පිංවතුන් හට දැක ගැනිමේ භාග්‍ය උදාවිය.

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය විසින් සංවිධානය කල පොසොන් කලාපය දින 7ක් පුරා මහසෑ වන්දනාවන්, බැති ගී, තොරණ, පහන් කූඩු ආදී ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ගෙන් යුක්තව පවත්වන ලදී.

නෙත් FM සහ Colombo Television මාධ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වු අසදෘශ ශාක්‍ය සිංහ මහ සෑ වන්දනාව ජූලි මස 04 වන දින ලක්ෂ 3කට අධික ලංකාව පුරා පිංවතුන්ගේ සහභාගීත්වයෙන් සිදුකර ලදි.

අකාලික මුනි දහම ලෝක සත වෙත අතැඹුලක්සේ පුදා ඔවුන් දුගතියෙන් ගලවා සුගතියේ පිහිටුවා රාග ද්වේශ මෝහ යටපත් කර ගැනිමට මග කියාදෙමින් ආරම්භ කළ සීල භාවනා වැඩසටහන සෑම මසකම අවසන් සෙනසුරාදා බොහෝ සත්පුරුෂ ජනි ජනයා උභයාර්ත සිද්ධියට පමුණුවයි.

ලෝක වාසි බෞද්ධ ජනතාවට මහත්වූ ආභාරණයක් වන මෙම මධ්‍යස්ථානය ඉදිරි වසර තුල ඉදිකිරීම් සහ සමාජ සත්කාර රාශියක් සිදු කිරීමට බලාපොරොත්තුවේ.

ඒ අනුව ඉදිරියේදි අඩි 100ක් පමණ උසින් යුත් සම්බුද්ධ ප්‍රතිමාවක්, තථාගත ධාතූන් වහස්සේ තැන්පත් කිරීම උදෙසා ධාතු මන්දිරයක්, තවද කෙලෙස් තවන උතුවන්ට අකාලික මුණි දහම අතැඹුලක්සේ බෙදා දෙමින් ඔවුන්ට කෙලෙස් තවන විර්ය ලබා ගැනීම පිණිස වීර්ය වඩමින්  භාවනා යෝගිව වැඩසිටීමට අවශ්‍ය භාවනා කුටි වලින් සමන්විත ආරණ්‍යක් මෙම පුද බිමේ ඉදිකිරීමට නියමිතව ඇත. 5000කට අධික පිංවතුන්ට එක වර ධර්මය ශ්‍රවණය කිරීමට හැකිවන පරිදි නිර්මාණය කරන සුවිසල් ධර්ම ශාලාව මේ වන විටත් ඉදිවෙමින් පවතී.

එමෙන්ම ජාත්‍යන්තරය සමග සම්බන්ධතා පවත්වමින් ජාත්‍යන්තර ධාන පතියන්ගේ සහයෝගීත්වයෙන් ප්‍රාදේශීය මෙන්ම ලංකාවාසී දරිද්‍රතාවයෙන් පෙලෙන ජනතාවට පිටුවහලක් විමට මධ්‍යස්ථානය කටයුතු සංවිධානය කරමින් පවතී. ඒ තුලින් දිළිදු ජනතාවට උපකාර කිරීම, පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබාදීම, වෛද්‍ය සායන පැවැත්වීම, දුෂ්කර විහාරස්ථාන වලට උපකාර කිරීම, ධර්ම ප්‍රචාරක කටයුතු සිදු කිරීම, ජාත්‍යන්තරයේ සම්බුදු දහම ගවේශනය කරන ගවේශකයින්ට බෞද්ධ තොරතුරු ගවේශන විද්‍යාගාරයක් ඉදිරකිරීම ඉදිරි සැලසුම් අතර වේ.

මෙම රම්‍ය වූත් ශ්‍රේෂ්ඨ වූත්, පූජනීය වූත් පුදබිම් දහසකුත් පීඩා මධ්‍යයේ ඉදිකරමින් පවත්වාගෙන යනු ලබන ස්ථානයකි. උක්තවූ කරුණු සැලකිල්ලට ගෙන මේ සම්බුදු සසුනෙහි තෙරුවන් සරණ ගිය, ගෞතම බුදු සසුනේ දියුණුව කැමති පරාර්ථ කාමී චින්තනකින් යුතු තෙරුවන් සරණ ගිය සත් පුරුෂ ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටි නම් මේ සාසනික වූ යුග මෙහෙවරට තුන්සිත පහදවාගෙන පින පමණක්ම අරමුණු කරගෙන අප හා එක් වන්නයි මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.

 

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය

කොබ්බෑකඩුව, මහනුවර

nelligalaibc@gmail.com

අපගේ දුරකථන අංකය - 0813 38032 508 විල්පිට කුසලධම්ම හිමි

                               077 63 63 63 5 රොෂාන්

ගිණුම් අංකය - 057200190024806

නෙල්ලිගල සංවර්ධන කමිටුව, මහජන බැංකුව මුරුතලාව

Related articles

 

© 2015 srilife.lk