දළදා පෙරහරේ කප්සිටුවීමේ චාරිත්‍රය සිදුකරන්නේ මෙහෙමයි

ලොව පුරා සංචාරකයන්ගේ අවධානය වාර්ෂිකව ශ්‍රී ලංකාවට හිමිවන ප්‍රධානම සංස්කෘතිකාංගයක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ ඇසල පෙරහර මංගල්‍යයයි. පුරාණ අතීතයේ දෙවියන් උදෙසා කළ දේව පෙරහරක් වූ මෙයට 18 වන සියවසේදී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් දළදා පෙරහරත් එක් කරන ලදි. නාථ දේවාල පෙරහර, විෂ්නු දේවාල පෙරහර, කතරගම දේවාල පෙරහර, පත්තිනි දේවාල පෙරහර යනුවෙන් සතරමහා දේවාල පෙරහරවල් සමග ප්‍රධාන පෙරහර වශයෙන් දළදා පෙරහර ගමන් කරයි. මෙම පෙරහර මංගල්‍යය ආරම්භයේ සිදුකෙරෙන ප්‍රධාන කටයුත්තක් වන්නේ කප් සිටුවීමේ චාරිත්‍රයයි. 
දළදා මාළිගාවේ නැකත් රාළ විසින් පෙරහරට අදාළ දින වකවානු කල් ඇතිව සූදානම් කරනු ලබයි. හෙළ සිරිතට අනුව වැදගත් කාර්යයක් ආරම්භ කිරීමේදී පේවී ඒ පිළිබද කැපවීමක් කරන බවට ප්‍රතිඥා දීමක් ලෙස කප් සිටුවීම සිදුකරයි. එමගින් ඒ කාර්යය අවසානය දක්වා සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය අපේක්ෂා කෙරේ. 
දළදා මාලිගාව විසින් අදාල නැකත් සූදානම් කළ පසු අලුත් නුවර පූජාභූමියේ ප්‍රධාන කපුරාළ විසින් තෝරා දෙන පුරුෂ ලිංගික (පණස) වරකා වෘක්ෂයක් යොදාගනී. කපුරාළ විසින් එම ශාකය තෝරාගත් පසු ඒ වටා සුවද දුම් අල්ලා පැන් ඉස පහන් නවයක් නියමිත මොහොත උදාවන තුරු දල්වා තබයි. බුලත් කොල නමයක් මත මල් වර්ග නමයක් තබා පුද පූජා කිරීමෙන් පසු දේවාලයේ ගස් කපන්නා සුදුවතින් සැරසී පැමිණ නැගෙනහිර දෙසට වැවී ඇති අත්තක් කපා දමනු ලබයි. ඉන් පසු එයින් දිග අඩි දෙකක් පමණ වන කැබලි 4ක් කපාගන්නා අතර සදුන් කිරිපැන් වලින් නහවා පිලිවෙලින් පළමු කැබැල්ල නාථදේවාලයටත් , විෂ්නු දේවාලයටත්, කතරගම දේවාලයටත්, පත්තිනි දේවාලයටත් බෙදා දෙයි. එම දේවාල භූමි තුල පිරිසිදු කර තිර යොදා වට කර සකස් කරන ලද ස්ථානයක සුදු රෙදි කැබැල්ලක ඔතා සෘජුව සිටින සේ කප සිටුවීම සිදුකරයි.
එලෙස සිටුවන ලද කප පෙරහර මංගල්‍යය නිම වනතෙක් පුද පූජා කෙරෙමින් තබාගනී. අවසාන දවල් පෙරහරත් අවසානයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටුකිරීමට මෙම කප් උගුල්ලා පෙරහරකින් ගැටඹේ තොට වෙත ගෙන එයි. එලෙස ගෙන එන කප් හතර පුදපූජා මැද ජලයේ පාකර හරී.
 

Related articles

 

© 2015 srilife.lk