ත්‍රවිධ හමුදාවේ ඉහලම සම්මානය වන පරම වීර විභූෂණ පදක්කමෙන් පිදුම් ලැබූ රණවිරුවෝ

 

පරම වීර විභූෂණ පදක්කම

ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා විසින් පිරිනමන ඉහලම සම්මානය වන පරම වීර විභූෂණය පදක්කම 1972 දක්වා ලංකාවේ හමුදාවන් වෙත පිරිනැමූ British Victoria Cross පදක්කම හා සම වන්නකි. තවත් අයුරකින් මෙම පදක්කමේ වටිනාකම පැහැදිලි කලහොත් එය ඇමරිකන් හමුදාවේ ඉහලම පදක්කම වන United States Medal of Honor පදක්කමට සම වන පදක්කමක් වෙනවා.

තම දිවි පරදුවට තබමින් තම මාතෘ භූමිය රැක ගැනීම වෙනුවෙන්  වීර වික්‍රමයන්  දක්ෂතා දැක්වූ තනි පුද්ගලයන්ට හිමිවන ජීවිතයේ හමුදා නිළධාරියෙකුට හෝ සෙබලෙකුට ලැබිය හැකි ඉහලම සම්මානයයි.


කපිතාන් සාලිය අලදෙණිය‍ - සිංහ රෙජිමේන්තුව

1964 ජූනි 11 උපත ලැබූ මේ රණ විරුවා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු 1989 දී යුධ හමුදාවට එක්විය.  කොකාවිල් ප්‍රෙද්ශයේ රූපවාහිනී සංඥා කුළුණක ආරක්ෂාව සදහා යොදා තිබූ කදවුරක අණදෙමින් සිටි එවකට ලෙෆ්ටිනන්ට් වරයෙක්ව සිටි මෙම රණ විරුවා, ත්‍රස්තවාදීන් විසින් සිය කදවුර වටලා ආහාර සහ උණ්ඩ හිග වන තුරුම පහරදීමෙන් පසු තුවාල ලැබූ අනෙකුත් හමුදා සෙබළුන් දමා පලා නොගොස් මිය යන තුරුම සටන් වැදීමෙන් මව් බිම වෙනුවෙන් කල නිර්භීතවූත් අති වික්‍රමාන්විත වූත් වීර ක්‍රියාව වෙනුවෙන් මෙම පදක්කම හිමිවිය.


කෝප්රල් ගාමිණී කුලරත්න  - සිංහ රෙජිමේන්තුව

1964 සැප්තැම්බර් මස 14 දින උපත ලද ගාමිණී කුලරත්න හසලක රණසිංහ ප්‍රේමදාස විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පසුව මහියංගනයේ ධම්මජෝති ස්වාමීන්වහන්සේ නමින් පැවිදි දිවියට ඇතුලත් විය. 1987 අරන්තලාව භික්ෂු ඝාතනයෙන් දිවි ගලවාගත් උන්වහන්සේ ත්‍රස්තවාදීන්ගේ කෘරත්වය දැක 1987 අගෝස්තු මස 27 දින යුධ හමුදාවට එක්විය.  1991 අලිමංකඩ කදවුර 5000කට අධික LTTE ත්‍රස්තවාදීන් පිරිසක් වට කොට පහරදුන් අවස්ථාවේ කදවුර දෙසට පැමිණි ආයුධ සන්නද්ධ යුද්ධ ටැංකියකට සමානව නිර්මානය කරන ලද බුල්ඩොසර් රථයක් දුටු මෙම රණවිරුවා, එමගින් කදවුරට හා තම සහෝදර සෙබළුන්ට සිදුවිය හැකි මහත් වු හානිය දැක අත් බෝම්බ 2ක් අතැතිව එම රථය තුලට ඇතුල්විය. ඉන්පසු ඇතිවූ විශාල පිපිරීමෙන් එම රථය විනාශ වී සිදුවිමට ගිය මහා විනාශය වැලැක්විණි. හසලක ගාමිණි නොහොත් හසලක වීරයා ලෙසින් පසුව ප්‍රසිද්ධියට පත්වූ මෙම රණවිරුවා තම සහෝදර සෙබළුන් හා මව්බිම වෙනුවෙන් තම ජීවිතය පූජාකොට කරන ලද වීරක්‍රියාව නිසා ලංකාවේ ප්‍රථම වරට මෙම පදක්කමෙන් පිදුම් ලැබිය.


කර්නල් A.F. ලෆීර් - විශේෂ බලකාය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකාය ගොඩ නැගීමේ පුරෝගාමී නිලධාරියෙකි. මෙම පදක්කම ලද එකම මුස්ලම් රණවිරුවා මෙහුයි.

මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ මොහු යුධ හමුදාවට එක්වූයේ 1වන ගජබා රෙජිමේන්තුවෙනි. 1996 ජූලි 18 මුලතිවු හමුදා කදවුරට ත්‍රස්තවාදීන් විසින් දරුණු ලෙද පහර දුන් අවස්ථාවේ එම කදවුර මුදවාගැනීමේ ‘‘තිවිධ පහර‘‘ මෙහෙයුමට සම්බන්ධ වූ 1 වන විශේෂ බලකායට අණ දුන් මෙම රණවිරුවා සටන අතරතුරදි වෙඩි පහර කිහිපයක් වැදීමෙන් තුවාල දැඩි ලෙස තුවාල ලැබුවා. එහෙත් එම වෙඩි පහර වලින් තම මරණය අත් වන තුරුත් නොනැවතී තම බලකායට නායකත්වය ලබාදීමේ වීර වික්‍රම ක්‍රියාව වෙනුවෙන් ඔහුට මෙම පදක්කම හිමි වන ලදී.


වින්ග් කමාන්ඩර් ටිරෝන් D. S. සිල්වපුල්ලේ - ශ්‍රි ලංකා ගුවන් හමුදාව

කොළඹ, ශාන්ත ජෝෂප් විද්‍යාලයේ අද්‍යාපනය ලද ඔහු 1986 මැයි 18 වන දින ගුවන් හමුදාවේ සේවයට එක් විය. හෙලිකොප්ටර් නියමුවකු ලෙස සේවයේ යෙදුනා.

1999 දෙසමම්බර් 17 දින තමිලමඩම් ප්‍රදේශයේ ඉදිරි ආක්ෂක වලල්ලට ත්‍රස්තවාදීන් බෝට්ටු යොදාගනිමින් සිදුකර පහරදීමකට Mi-24 හෙලිකොප්ටර් යානා මගින් ගුවන් සහය ලබා දීමට එක් වූ අවස්ථාවේ බලගණ නායකයා ලෙස කටයුතු කලා. ත්‍රස්ථවාදීන් අත ගුවන් යානා නාශක අවි තිබේ යැයි සැකයක් තිබූ නිසා තම කණ්ඩායමට දුරින් සිට පහර දීමට අණ දුන් ඔහු අයහපත් කාලගුණ තත්වයට සහ ඔහුගේ ජීවිතය ගැන නොතකා කොටි බෝට්ටු ලුහු බදිමින් කල පහරීමේදී යානය අනතුරට ලක්වූ අතර එය කලාලි කලපුවට කඩා වැටී  මෙම රණවිරුවා, සහය නියමුවා සහ වෙඩි කරුවන් දෙදෙනා ජීවිතය පූජා කලා. මෙම වීරක්‍රියාවට උපහාරයක් වශයෙන් සිල්වපුල්ලේ රණවිරුවාට මේ පදක්කම පිරිනමුණු ලැබුවා


ලුතිනල් කර්නල් J.A.L ජයසිංහ - 3වන විශේෂ බලකා රෙජිමේන්තුව

1974 අප්‍රේල් 29 උපත ලද ඔහු අවිස්සාවේල්ල ජනාධිපති විද්‍යාලයේ සහ කොළඹ ලුම්බිණි විද්‍යාලයෙන් අධ්‍යපනය හදාරා 1997 ජනවාරි 22 කෙඩෙට් නිළධාරියෙක් ලෙස යුධ හමුදාවට සම්බන්ධ විය.  2008 නොවැම්බර් මාසයේ අට දෙනෙකුගේ විශේෂ බලකා කණ්ඩායමක් සමග ඔඩ්ඩුසුඩාන් ප්‍රෙද්ශයේ ත්‍රස්ථවාදී  පාලනයේ පැවති ප්‍රෙද්ශයක මෙහෙයුමකදී සාර්ථක ලෙස ප්‍රථම ප්‍රහාරය නිම කල අතර එහිදී ඔහු තුවාල ලැබීය. එහෙත් ඔහුගේ කණ්ඩායමට දෙවන මෙහෙයුම සදහා අණදුන් ඔහු එම මෙහෙයුම අතර ඔහු මරණයට පත්වුණා. තම ජීවිතය නොතකා සිදුකල මෙම වීර ක්‍රියාව හේතුවෙන් ඔහුට මෙම පද්කකම පිරිනමණු ලැබුවා.


ලුතිනල් කමාන්ඩර් ජූඩ් ලක්මාල් වි‍ජේතුංග - ශ්‍රි ලංකා නාවික හමුදාව‍

නාවික හමුදාවේ අධිවේගි ඩෝරා යාත්‍රාවන්ට අණදුන් නිළධාරියෙකි. 1996 මාර්තු 30 වන දින නාවික හමුදා ප්‍රවාහන යාත්‍රාවකට ආරක්ෂාව දෙමින් සිටියදී මුහුදු කොටින් විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කළා.  මෙම ප්‍රහාරයෙන් ඔහුගේ ඩෝරා යාත්‍රාවට සහ ඔහුගේ කණ්ඩායමට දැඩි ලෙස හානි සිදුවු අතර එය නොතකා මරාගෙන මැරෙන බෝට්ටුවලට ප්‍රහාර එල්ල කල අතර එමගින් ඔහුගේ යාත්‍රා 2ක් සහ මුහුදු කොටි යාත්‍රාද මුළුමනින් විනාශයට පත් වුණා. තම දිවි නොතකා ප්‍රවාහන යාත්‍රාව බේරාගනිමින් සිදුකල වීර වික්‍රම ක්‍රියාව නිසා විජේතුංග රණවිරුවා මෙම පදක්කම පිරිනමනු ලැබුවා.


මේජර් G. S. ජනනාත් - කොමාන්ඩෝ රෙජිමේන්තුව

1997 ජයසිකුරු මෙහෙයුම මාන්කුලම් වෙත ලගාවන අතරතුර දෙවන කොමාන්ඩෝ රෙජිමේන්තුවේ කැප්ටන්වරයෙකු ලෙස මොහු කටයුතු කලා. එම සටනේදී  ත්‍රස්තවාදීන්ගේ හදුනාගත් කාලතුවක්කු අංගනයක් විනාශ කිරීම සදහා ඔහුගේ කොමාන්ඩෝ කණ්ඩායමක් සමග ඉදිරියට ඇදුණා. නමුත් උපක්‍රමිකව සැගවී සිටි ත්‍රස්තවාදින් විසින් ඔවුන්ට දැඩි ලෙස පහර දෙනු ලැබුවා. එම අවස්ථාවේ කුඩා කණ්ඩායමක් සමග ඉදිරියට ගිය මොහු රේඩියෝ පණිවිඩ මගින් ප්‍රධාන කදවුරට දන්වා සිටියේ ඔවුන්ගේ සහය ලැබෙන තුරු තම කණ්ඩායමට සටන්කල හැකි බවයි. කෙසේ වෙතත් ත්‍රස්තයන්ගේ දැඩි ප්‍රහාර නිසා සහයක කණ්ඩායමට ජනනාත්ගේ කණ්ඩායම වෙත ලගාවීමට නොහැකි වුණා. නමුත් ඔහු සටන අතනොහැර කොටින් හා සටන් වැදුණා. කාලතුවක්කු හා වෙඩි උණ්ඩවලින් ඔහුගේ කණ්ඩායමේ බොහෝ පිරිසක් තුවල ලැබූ අතර තුලවලකරුවන් අතහැර පසුබසින ලෙස නියෝග ලැබුණත් එම නියෝගය ප්‍රතිශේප කල ඔහු තමාගේ හා සෙබලුන් ජීවිතය තිබෙන තුරු සටන් කරන බවත් කිසිවිටකත් ත්‍රස්තවාදීන්ට යටත් නෙවන බවත් ප්‍රකාශ කර සිටියා. ඔහු තම හිසට වෙඩි වැදී මිය යන තුරුම සටන් වැදුනා. අවසාන මෙහොත දක්වා තම කණ්ඩායමත් ඉලක්කයත් අතනොහැර කල ඒ වික්‍රමාන්විත ක්‍රියාව අගයමින් ජනනාත් විරුවාට මේ පදක්කම පරිනමණු ලැබුවා.


මේජර් K. A. ගමගේ - 1වන විශේෂ බලකා රෙජිමේන්තුව

2009 අප්‍රේල් මාසයේ මානුෂික මෙහෙයුමේ අවසන් අවධියේ ත්‍රස්තවාදීන් වර්ග කිලෝමීටර් 20 ක් පමණ ප්‍රමාණයට කොටුවී සිටියේ රජය විසින් යුධ මුක්ත කලාපය ලෙස නම්කල කොටසේයි. එහි සාමාන්‍ය වැසියන් 100 000කට වැඩි පිරිසක් රැදී සිටින බව ගණන් බලා තිබුණා. නන්දිකඩාල් කලපුව ආශ්‍රිත එම ප්‍රදේශය වටකර කොටින් විසින් කලෝමීටර් 3ක් දිග පස් බැම්මක් යොදා තිබුණා. 2009 අප්‍රේල් 19 දින රාත්‍රියේ දී පස් බැම්ම බිද සිවිල් වැසියන් මුදා ගැනීමේ මෙහෙයුම ආරම්භ කලා. ගමගේ සහ ඔහුගේ කණ්ඩායම කලපුව හරහා අදුරේම පස් බැම්ම වෙත ලගා වී  ත්‍රස්තවාදීන්ගේ බංකර් වලට ප්‍රහාර එල්ල කලා. සාර්ථක පහරදීමකින් බැම්මේ කොටසක් අල්ලාගත් අතර එම කොටස හරහා සාමාන්‍ය වැසියන් රජයේ පාලන ප්‍රදේශ වෙත පිටත් කිරීම ආරම්භ කලා. නමුත් එකවරම යුධ මුක්ත කලාපයේ සිට කොටින්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ලවීමට පටන් ගත්තා. එම දරැණු ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර එල්ල කරමින් පසුදා උදෑසන වනතුරුම සටන් වැදුනු මොහු අවසානයේ ත්‍රස්තවාදි ප්‍රහාරවලින් මරණයට පත්වුණා. මේ ජීවිත පරිත්‍යාගයෙන් කල සටනින් අහිංසක සිවිල් වැසියන් 25 000කගේ දිවි බේරාගන්නට හැකිවුණා. තම දිවි පරදුවට තබා අවසාන මෙහොත දක්වා සටන් වදිමින් විශාල ජීවිත ප්‍රමාණයක් බේරාගනිමින් කල මේ වීර වික්‍රමයට ගෞරවයක් පිණිස මේජර් ගමගේ රණවිරුවා මේ පදක්කමෙන් පුදනු ලැබුවා.


දෙවන ලුතිනන් K. W. T. නිශ්ශංක - ගජබා රෙජිමේන්තුව

1993 නොවැම්බර් මාසයේ දී රණවිරු නිශ්ශංක සහ ඔහුගේ කණ්ඩායම පුනරීන් කදවුරට අනියුක්ත කලේ එම කදවුර උපක්‍රමික වශයෙන් ඉතා වැදගත් හා නිරන්තරයෙන් ත්‍රස්ත ප්‍රහාර වලට ලක්වන නිසාය. 1993 නොවැම්බර් 11 පාන්දර 1.30 පමණ පුනරින් කදවුරට හදිසියේම දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වුණා. එම ප්‍රහාරය වැඩි වශයෙන් එල්ල වුණේ ලුතිනන් නිශ්ශංක නායකත්වය දෙන අරක්ෂක වලල්ලටය. පළමු ප්‍රහාර සාර්ථක ලෙස වැලැක්වුවත් දෙවන ප්‍රහාරය ඉතා ප්‍රභල එකක් විය. තම ජීවිත අවධානම නොසලකා බංකරයෙන් බංකරයට යමින් තම සෙබලුන් දිරිමත් කල මොහු මූලස්ථානය අමතා සහයක කණ්ඩායමක් ලබා ගැනීමට උත්සාහ කලත් දරුණු ප්‍රහාර හේතුවෙන් සහයක කණ්ඩායමට එම ප්‍රදේශයට ලගා වීමට නොහැකි වුණා. අලුයම 5 පමණ වන විට නිශ්ශංක රණවිරුවා දැඩිලෙස තුවාල ලබා සිටියත් එම දැඩි වේදනාව නොතකා ජීවතුන් අතර සිටින සෙබලුන්ට තුවාලකරුවන් රැගෙන පසුබසින ලෙස අණකළා. ඉන්පසු අත්බොම්බ දෙකක් රැගෙන සතුරන් ඉදිරියට ගොස් එය පුපුරවා ගත්තා. ඔහුගේ මේ වීර ක්‍රියාව නිසා තම කණ්ඩායමේ අයට තුවලකරුවන් රැගෙන පලා යෑමට හැකි වුණා. ජීවිතය තම කණ්ඩායම වෙනුවෙන් පුජාකල නිශ්ශංක රණවිරුවා 1996 දී මෙම පදක්කමෙන් පුදනු ලැබුවා.


දෙවන පංතියේ බලලත් නිළධාරී H.B. පසන් ගුණසේකර - ගජබා රෙජිමේන්තුව

මිල්ලෑවේ උපත ලද මෙම රණවිරුවා ආයුර්වේද කම්හලක වැඩ කරමින් සිටියදී විශ්‍රාමික හමුදා නිළධාරියකු මුණ ගැසීමෙන් ඇතිවූ ආශාව නිසා යුධ හමුදාවට එක්විය.

1995 යාපනය මුදා ගැනීමේ රිවිරැස මෙහෙයුමේදී යාපනය අල්ලා ගැනීමට තිබුණු විශාලම බාදාව වූයේ මුහුදු කොටින් විසින් බෝට්ටු 200-300ක් පමණ යොදා ගනිමින් යාපනය නගරය සිටින ත්‍රස්තවාදීන් වෙත මුහුද හරහා රාත්‍රීකාලයේදී අවශ්‍ය සැපයුම් ලබා දීමයි. චිරුතිව් දූපතෙහි ඔවුන් මෙම බෝට්ටු සගවා තිබූ බවට තොරතුරු ලැබුණා. මෙම සැපයුම් බෝට්ටු විනාශ කිරීම යාපනය අත්පත් කරගැනීමේ මෙහෙයුම සාර්ථක කරගැනීමට අතිශය වැදගත් වුණා. මේ මෙහෙයුම වෙනුවෙන් 16 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමට රණවිරු පසන් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. මෙම මෙහෙයුමෙන් චිරුතිව් දූපත අත්පත් කරගත් අතර මුහුදු කොටි බෝට්ටු සැපයුම් මාර්ගය මෙයින් අවහිර වුණා. එහෙත් මෙම සටනේදී රණවිරු පසන් ජීවතය පූජා කල අතර මේ සුවිශේෂී වූ මෙහෙයුම නිසා යාපනය අත්පත් කර ගැනීමට හමුදාවන්ට හැකි වුණා. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී කල මේ වීර වික්‍රමය නිසා ඔහුට මේ පදක්කම පිරිනමනු ලැබුවා.


ලාසන් කෝප්රල් l W. I. M. සෙනවිරත්න - ශ්‍රී ලංකා පාබල හමුදාව

1996 ජූලි 4 වන දින අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා යාපනය සංචාරය කළ අවස්ථාවේ ආරක්ෂාවට යොදවා තිබූ කණ්ඩායමේ සෙනවිරත්න රණවිරුවාත් සේවයෙහි යෙදී සිටියා. අමාත්‍යවරයා සහ තවත් හමුදා නිළධාරීන් රැසක් ගමන් කරමින් සිටි රථය දෙසට දෙසට පැමිණි ගැබිණි කාන්තාව දැක සැක සිතූ සෙනවිරත්න සෙබලා වහාම තම බයිසිකලය ඇය දෙසට හරවා ඇගේ ගමනට බාධා කළා. එම අවස්ථාවේ පැන යාමට නොහැකිවූ ගැබිණියක් ලෙස පෙනී සිටි මරාගෙන මැරෙන බෝම්බ කාරිය බෝම්බය පුපුරවාගත් අතර මෙම පිපිරීමෙන් සෙනවිරත්න රණවිරුවා දිවි පිදූ අතර අමාත්‍යවරයා සහ නිළධාරීන්ගේ දිවි බේරාගන්නට හැකි වුණා. තම දිවි දෙවැනි කොට තම රාජකාරිය රට වෙනුවෙන් ඉටු කිරීමේ වීර වික්‍රමාන්විත ක්‍රියාව නිසා ඔහුට මෙම පදක්කම පුදනු ලැබුවා.


සැරයන් සුගත් චන්ද්‍රසිරි බණ්ඩාර - දෙවන විශේෂ බලකා රෙජිමේන්තුව

2009 පෙබරවාරි 3 වන දින විට කොටි ත්‍රස්තවාදීන් පදුකුඩිඉරුප්පු හි ඉතා කුඩා ප්‍රදේශයකට සීමා කිරීමට හමුදාවන්ට හැකි වී තිබුණා. මේ අතර කොටි ත්‍රස්තයින් හමුදාවන් වෙත දරුණු ප්‍රහාරයක් එල්ල කරමින් සිටියා. මෙය පාලනය කිරීමට යෙදවූ 2වන විශේෂ බලකායේ රණවිරු චන්ද්‍රසිරිද අනුයුක්තව සිටියා. මෙහෙයුම අතරතුරේදී පුපුරණ ද්‍රව්‍ය පිරිවූ වෙඩි නොවදින ට්‍රක් රථයක් මරාගෙන මැරෙණ ප්‍රහාරයක් සදහා ඔවුන් වෙත පැමිණියා. සුළු අවි වලින් මෙය විනාශ කිරීමට නොහැකි වූ අතර RPG-7 රොකට් ලොන්චර් අවියක් ඇතැතිව සිටි චන්ද්‍රසිරි වහා ක්‍රියාත්මක වී ප්‍රහාරයක් ට්‍රක් රථය වෙත එල්ල කලත් එය සාර්ථක වූයේ නෑ. ඔහු දෙවනි වරත් නැවත උණ්ඩ දමා තම අවිය සූදානම් කරන අතර තුර මෙම ට්‍රක් රථය තමා ආසන්නයටම පැමිණ තිබුණා. මෙම ප්‍රහාරය එල්ල කර ට්‍රක්රථය පිපිරුවහොත් තමා නියත වශයෙන්ම මිය යන බව දැන දැනත් ඔහු දෙවනි ප්‍රහාරය සාර්ථක ලෙස එල්ල කරමින් ට්‍රක් රථය පුපුරවා හැරියා. පිපිරීමෙන් ඔහු මරණයට පත් වූවත් එමගින් ඔහුගේ කණ්ඩායමේ විශාල පිරිසකගේ දිවි ගලපා ගැනීමට හැකි වුණා. ඔහු කළ මේ වීර වික්‍රමයට උපහාරයක් පිණිස මෙම පදක්කමෙන් පුදනු ලැබුවා.


මේ රණවිරුවන්ද වික්‍රමාන්විත අයුරින් අප මව්බිම වෙනුවෙන් දිවි පුදා පරම වීර විභූෂණ සම්මානය ලබා ගෙන ඇතත් ඔවුන් ගේ වීර වික්‍රමයන් ගැන තොරතුරු සොයාගැනීමට අපහසු විය.

ලුතිනන් U. G. A. S. සමරනායක - 9 වන ගැමුණු හේවා රෙජිමේන්තුව

මාණ්ඩලික සැරයන්  H. G. S. බණ්බාර - 4 වන විජයබා පාබල රෙජිමේන්තුව

කැප්ටන් H. G. M. H. I. මේඝවර්ණ -  9 වන ගැමුණු හේවා රෙජිමේන්තුව

කැප්ටන් G. N. පුන්සිරි - ගජබා රෙජිමේන්තුව

සැරයන් P.N. සුරංග - 1 වන විජයබා පාබල රෙජිමේන්තුව

කොප්රල් P. M. නිලන්ත පුෂ්පකුමාර - 7 වන ගැමුණු හේවා රෙජිමේන්තුව

ලුතිනන් W. T. ජයතිලක - ගැමුණු හේවා රෙජිමේන්තුව

කෝප්රල් K. චන්දන - 3 වන විශේෂ බලකා රෙජිමේන්තුව

කෝප්රල් A. M. N. P. අබේසිංහ - 8 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

ලාන්ස් කෝප්රල් T. G. D. R. දයානන්ද - 8 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

ලාන්ස් කෝප්ර්ල් R. M. D. M. රත්නායක - 6වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තුව

ලාන්ස් කෝප්ර්ල් A. M. B. H. G අබේරත්නබණ්ඩා -  21 වන ශ්‍රීලංකා සිංහ රෙජිමේන්තුව

ප්‍රධාන හමුදා නිළධාරී K. G. ශාන්ත - ශ්‍රී ලංකා නාවික හමුදාව

මාණ්ඩලික සැරයන්  K. G. N පෙරේරා - කමාන්ඩෝ රෙජිමේන්තුව

සැරයන් K. G. D. ගුණසේකර - කමාන්ඩෝ රෙජිමේන්තුව

කෝප්රල් H. A. නිලන්ත කුමාර - කමාන්ඩෝ රෙජිමේන්තුව

කෝප්රල් S. P. M. L. පුෂ්පමාල් - කමාන්ඩෝ රෙජිමේන්තුව

 

Related articles

 

© 2015 srilife.lk