අපේ ක්‍රිකට්වල අවසන් කටයුතු බලධාරීන් අතින්ම සිදුවේද?

අද අපි සිබ්බාබ්වේට පැරදුණි. ඉස්සර සිම්බාබ්වේ අපට ගේමක් නැත. දැන් ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමත් අපට ගේමකි. මෙහෙම දිගට හරහට මැච් පරදින්නේ මොන හෙනයක් හින්දද? ලංකාවේ දක්ෂ ක්‍රීඩකයෝ නැද්ද? සංගා, මහේලලා ගෙන් පස්සේ අපි ඉවරද? ඉන්න අයගේ ෆිට්නස් නෑ කියන්නේ ඇත්තක්ද? මාලි වැරැද්දක් කළා නම් සතියක් විතර ක්‍රිකට් තහනම් කරල ටීම් එකට දාගන්න බැරිද? ලංකාවේ ක්‍රිකට් ලෝලීන්ට මේ දින වල ඇත්තේ ප්‍රශ්න කෝටියකි.

අපේ ක්‍රිකට්වලට මෙසේ සිදුවීමට සැබෑ හේතුව අප සොයාගත යුතුව ඇත. ලංකාවේ දක්ෂ ක්‍රීඩකයින් නැති බව පිළිගත නොහැකි කරුණකි. එහෙත් දක්ෂ ක්‍රීඩකයින් ජාතික කණ්ඩායම නියෝජනය නොකරන බවක් දැන් දැන් පෙනෙන්නට තිබේ. ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරන ප්‍රමුඛ තරඟාවලිය ප්‍රිමියර් ලීග් තරඟාවලියයි. එහෙත් එම තරඟාවලියේ දක්ෂතම පිතිකරුවන්, දක්ෂතම පන්දු යවන්නන් ජාතික සංචිතයට තේරී පත්වී නැත. චැම්පියන් කුසලාන සංචිතයේ ද බංගලාදේශ සංචිතයේ ඔවුන් නොසිටියේය. මෙවර සිම්බාබ්වේ සංචිතයේද ඔවුන් නැත. නිත්‍ය ක්‍රීඩකයින්ට අමතරව සංචිත වලට තෝරන නවකයින් තෝරන්නේ දක්ෂතා මත පදනම් නොවෙමින්ද? එසේ නම් මේ ක්‍රීඩයින් තෝරන ක්‍රමවේදය ගැටලුවක් ක්‍රීඩා ලෝලීන්ගේ සිත්වල මතුවීම සාධාරණ නොවේද?. කෙසේ වෙතත් සංචිතයට ඇතුළත් කරගතයුත්තේ දක්ෂ ක්‍රීඩකයින් බව ක්‍රිකට් නොදන්නා ළදරුවෙකුට වුවත් හොදින් වැටහෙන කරුණකි. මේ හේතුවෙන් අප සැම හට උපකල්පනය කර හැක්කේ ක්‍රීඩකයින් තෝරන්නේ බලධාරීන්ගේ හා ක්‍රීඩා සමාජවල නිළධාරීන්ගේ පෞද්ගලික හිතුමතය මත පදනම්ව බවයි.

අකිල ධනංජය, අමිල අෆොන්සු, ලක්ෂාන් සඳකැන් පසුගිය කාලයේ පළමු පෙළ දක්ෂතා අතර සිටි ක්‍රීඩකයින් නොවේ. එයින් කිසි විටකත් ඔවුන් අදක්ෂ යැයි කිසිවිටකත් අප පවසන්නේ නැත. විවිධ කාල වල ක්‍රීඩකයින්ගේ දක්ෂතා අඩු වැඩි වීම සාමාන්‍ය දෙයකි. එහෙත් සංචිතය තුළ සිටිය යුත්තේ අදාල කාලයේ දක්ෂතාවල උපරිම සිටින ක්‍රීඩකයන් බවට කිසිදු විවාදයක් මතුවිය නොහැක. මෙසේ තේරීම් සිදුවන අතර පරාජයන්ට හේතුව ලෙස බලධාරීන් ගෙන එන්නේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ බඩවල්ය.

ඇතැම් ක්‍රීඩා සමාජවල ක්‍රීඩකයින්ට ස්ථිරවම ජාතික කණ්ඩායමට ක්‍රීඩා කළහැකි බවට බලධාරීන්ගෙන් පොරොන්දු ලැබෙන බවටත්, ඇතැම් බලධාරීන්ට තමන්ගේ බලය පාවිච්චිකොට ක්‍රීඩකයින් සංචිතයට ඇතුලු කරන බවටත් රටේ පැතිරෙන කථාව කට තතා නොවන බව ඉහත කරුණු නිසා පැහැදිලිවම දැන් ඔප්පු වෙමින් පවතී. විවිධ ක්‍රීඩා සමාජවල නිළධාරීන්ගේ කැමැත්ත මතත්, ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන්ගේ කැමැත්ත මතත් ක්‍රීඩකයින් තෝරන්නේ නම්, පළමු පෙල තරඟ පැවැත්වීමට රටේ මුදල් වියදම් කිරීමේ කිසිදු පලක් නැත. දක්ෂ ක්‍රීඩකයින් පළමු පෙළ තරඟවල ක්‍රීඩා කරවීමේ අවශ්‍යතාවයක්ද නැත. නොඑසේ නම් තේරීම් සිදුකරනේ කුමන පදනමකින්දැයි ක්‍රීඩා ලෝලීන් හමුවේ බලධාරීන් පැහැදිලි කළ යුතුය.

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ලෙස නැවත පතුවූ සනත් ජයසූරිය කිසිවිටෙක ලංකාව පරාජය කරවීමට සංචිතය තෝරන්නේ යැයි කිසිවෙකුට සිතිය නොහැක. එසේ කිරීමටද ඔහුට අවශ්‍යතාවයක් නොමැති වන්නේ ඔහුද ලංකා ක්‍රිකට් ක්‍රීඩා ඉතිහාසයේ බැබලෙන පරිච්ඡේදයක් ලියූ නිසාවෙනි. එසේනම් ක්‍රීඩාව ගැන නොදත්, රටේ කීර්තිය ගැන නොසිතන බලධාරීන් සනත්ට දිනන කණ්ඩායමක් තේරීමේ නිදහස ලබා දිය යුතුය. විවිධ නිළධාරීන්ගේ, බලධාරීන්ගේ, දේශපාලකයින්ගේ ඇගිලි ගැසීම් මඟින් තේරීම් කමිටුවේ නිදහස නැති කර දැමීම අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවසානය අප විසින්ම උදා කිරීමකි.

ශ්‍රී ලාංකිකයෝ ක්‍රිකට් ක්‍රීඩාවට හපනුන්ය. කොටින් අප දක්ෂ ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් යැයි කිවහොත් ඔබ එකඟවනු ඇත. අනෙකුත් ක්‍රීඩා වලින් ලැබුණු ජයග්‍රහණ අතලොස්ස අපට නොදැනෙන්නේ ක්‍රිකට් ජයග්‍රහන රාශිය නිසාය. ශ්‍රි ලංකාව ලෝකයේ ඇතැම් රටවල් දැනකියා ගත්තේ 1996 ලෝක ශූරයන් වීමෙන් පසුවය. ධාවන ශූරයින් සිටින රට කුමක්දැයි ඇසූවිට අපට ජැමෙයිකාව මතක් වනවාසේ, ක්‍රිකට් ශූරයින් සිටින්නේ මොන රටේ දැයි එකල ඇසූ විට ලොව පුරා රටවල් වල මිනිසුන්ට මතක් වූයේ ලංකාවයි. එතරම් අප රට ක්‍රිකට් වලට ප්‍රචලිතව තිබුණි.

Master Blaster සනත්, Captan Cool අර්ජුන, Hole of Fame මුරලි,  Slinga හඳුන්වා දුන් මාලිංග  Dils Coop හි හිමිකරු දිල්ෂාන්, සංගා, අරවින්ද, මහේල ඇතුළු ඔබ හදවතේ වැජබෙන ක්‍රිකට් තරු සියළු දෙනාම මුළු ලෝකයම හඳුනයි. ඒ අපේ අතීතය බවට දැන් පත්වී හමාරය. අපේ ක්‍රිකට් අනාගතය මේ වන විට අන්දකාරයට ගමන් කරමින් පවතී.

ක්‍රිකට් වලට හදවතින්ම ආදරය කරන, ක්‍රිකට් කීඩකයින් වීරයන් සේ සලකන, ඉන්දියාවේ මෙන් පරදින විට නොගරහමින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෞරව කරන ශ්‍රී ලාංකේය කීඩා ලෝලීන්ගේ පරාජයේ ඉවසීම ප්‍රයෝජනයට ගනිමින් දිගින් දිගටම තරඟ පරාජය වෙමින් තිබියදීත් තම පෞද්ගලික අරමුණු මත පමණක් ක්‍රියාකර සියළු බලධාරීන්ගෙන් ප්‍රශ්න කිරීමේ කාලය දැන් එළඹ ඇත. අපේ රටේ ක්‍රිකට් බේරාගැනීමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති වුවත් ක්‍රිකට් වලට ආදරය කරන සැමට අපේ රටේ ගෞරවය ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවයක් ඇත. ඒ නිසා අප සැම එක් වී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සමාජයේ නිවැරදි මතයක් ගොඩනැගීමේ පළමු වෙඩිමුරය මෙසේ සටහන් තබමු.

Related articles

 

© 2015 srilife.lk