බෙහෙත් නැතුව ලෙඩ සුව කරන අපේ පැරැන්නන්ගේ විශ්මිත කෙම් ශාස්ත්‍රය

අපගේ පැරැන්නෝ රෝගාබාධ දුරුකර ගැනීමට කෙලින්ම ඖෂධ ගණයට නොවැටෙන විවිධ ගුප්ත ක්‍රම භාවිතා කළහ. ‘‘කෙම්“ යනුවෙන් හැඳින්වෙන මෙම ගුප්ත ප්‍රතිකාර ක්‍රම අදත් අපේ සමහර ගම්බද පළාත්වල භාවිතයට ගැනේ.‘‘කෙම්‘‘ යනු ‘‘ක්ෂේම‘‘ යන සංස්කෘතික වචනයකින් බිදී එන්නකි. ශාන්තිය, සුවය, සහනය යන අදහස් රාශියක් එම වචනයෙන් අර්ථ ගැන්වෙයි.

රෝග උපද්‍රවයන් ඉතා පහසුවෙන් දුරුකර ගැනීම සඳහා ‘කෙම්‘ ඉතා මානසික වූත්, සූක්ෂම වූත් ක්‍රමයක් විය. චිත්ත බලය, විෂබීජ නාශක ගුණය මෙන්ම ඖෂධ ගුණය ද මෙම කෙම් තුල අන්තර්ගතව ඇත. කෙමක් සිදු කරන්නේ ඉතා පිරිසිදුවය. කෙමක් සඳහා අවශ්‍යය ඖෂධ සොයන විට සකසන විට සහ බඳිනවිට කතා කිරීමට තහනම්ය. මුඛයෙන් පිටවන විෂබීජවලින් ඖෂධ ආරක්ෂාකර ගැනීම එහි අදහස විය හැකිය.

කෙමක් සිදුකරන විට ඒ පිළිබඳ විශ්වාසය ද වැදගත්ය. කෙම්වලදී ඖෂධ ගැනීමක් වැඩිපුර සිදුවන්නේ නැත. බොහෝ විට සිදුවන්නේ අතේ ඉනේ බැඳීම ශරීරාංගයක් පිස දැමිම වැනි බාහිර ක්‍රියාකාරකම් ය.

බෙහෙත් එඬෙරු ගසේ පොත්තක් පහත සිට උඩට ගලවා ඉනේ බැඳීමෙන් බඩ එළිය යෑම නවත්වා ගැනිමේ ක්‍රමයක් අපේ පැරැන්නෝ අතර විය. එමෙන්ම බෙහෙත් එඬරු ගසේ පොත්තක් උඩට සිටින සේ ගලවා කරේ බැඳීමෙන් ඔවුන් වමනය නවත්වා ගත්හ. තමන් හැඳ සිටින ඇඳුමෙන් පටියක් ඉරා තමන්ගේම මූත්‍රාවලින් එය තෙමා බෙල්ලේ බැඳ ගැනීමෙන් වමනය නතර කිරීමේ ක්‍රමයක් පැරැන්නෝ දැන සිටියහ.

කුඩා ළමුන්ට කක්කල් කැස්ස සැදුන විට, උදේ කපුටා හැඬීමට පෙර, කැහි පිත්තා වැලක් ළඟ පොල්තෙල් පහනක් දල්වාඑම වැල ගලවා රෝගී ළමයා කරේ බැඳීමෙන් කක්කල් කැස්ස නවත්වා ගත්හ.

අසේ නගනයක් එනබව දැනුනවිට අලුයම නැගිට කතා නොකර ගොස් තුත්තිරි ගසක් ගලවා එහි බඩයේ ඉස්ම ඇස්වල තවරා ගැනීම අදත් ගම්බදව සිදුකරන කෙමකි. උදෑසන නැගිට කතා නොකර ලුනු කැටයක් ගෙන ඇසේ නගනය එන තැන පිසදමා ගින්නට දමන්න. මෙය දින තුනක් කිරීමෙන් නගනය සුව වේ. තවද නගනයක් ඇති වූ විට ලුනු කැටයක් ගෙන කිසිවෙකු සමග කතා නොකර එය කලයට දමා ‘නඟනේ කළයට පොඟනේ‘ යනුවෙන් තුන්වරැවක් තුන්දිනයක් පැවසීම නගනය සඳහා වූ තවත් කෙමක් විය.

දත් කැක්කුම සුවකර ගැනීමට භාවිතා කරන කෙම් ක්‍රම ද බොහෝමයක් ඇත. කිසිවෙකු සමඟ කතා නොකර, කඩදාසි කොලයක ශාස්ත්‍රීය ක්‍රමයකට කොටු කීපයක් අදියි. අනතුරුව දත් කැක්කුම ඇති අයගෙන් ‘ දැන් සනීපදැයි‘ අසයි. එවිට රෝගියා ‘ඔව් සනීපයි‘ යනුවෙන් පිළිතුරු දිය යුතුයි.  එවිට එම කොටුව තුළ රවුමක් අදියි. මෙලෙස සත්වරක් අසා රවුම් හතක් ඇදිය යුතුය. හත්වෙනි කොටුවේ රවුම ඇඳ අවසන් වෙද්දී දත් කැක්කුමද අවසන් වෙයි. පසුව කොලය තුනට නමා දත් කැක්කුම ඇති පැත්තේ කම්මුලේ තුන්වරක් අතුල්ලා හිසට උඩින් විසිකළ යුතුය. එළබටු ගසක් අවට පිරිසිදුකර, සුදුවැලි ස්වල්පයක් අතුරන්න. තෙවරක් ගස වටා යමින් ගසට වඳින්න. දත් කැක්කුම ඇති අය සිහිකර ඔහුගේ දත් කැක්කුම සුවවේවා! යනුවෙන් සිතමින් ගස වටේ යමින් එහි කොලයක් කඩා ගස මුල දමන්න. මෙලෙස හත්වටයක් කැරකෙමින් කොල හතක් කඩා ගස මුල දමන්න. රෝගියාගේ දත් කැක්කුම සුව වෙයි.

දවස් දෙක තුනකට වරක් හැදෙන උනට අපූරු කෙමක් පැරැන්නන් විසින් භාවිතා කර ඇත.

මුරුංගා පොතු, දිවුල් පොතු, වරකා පොතු, අමුකහ එකට අඹරා පිරිසිදු රෙදි කැබැල්ලක් දවටා මල් බුලත් තට්ටුවක පේකර උණ ගැනීමට පෙර දින පහන් දොර කපුටා හැඬීමට පෙර කිසිත් නොදන්වා උන ගැනෙන රෝගියාගේ අතේ බැඳීම එම කෙමයි.

ඇසට රොඩ්ඩක්, කුඩා සතෙකු වැටුන විට එය ඉවත් කර ගැනීමට අනුගමනය කළ කෙමකි මේ.

‘‘ ඇසේ කුණු පෝ‘‘ යනුවෙන් හත්වරක් පිටි අත්ලෙන් ඇස පිසදමමින් හත් අඩියක් පිටුපසට ගිය විට ඇසේ වැටුන රොඩ්ඩ හෝ සතා ඉවත් වේ. නිදකුම්බා මුලක් උදුරා සෝදා රොඩ්ඩ වැටුන ඇසට විරුද්ධ පැත්තේ හක්කේ තබා හොඳින් හපන්න. එඉස්ම සහිත කෙළ හත් පාරක් විසි කරන්න. රොඩ්ඩ ඉවත් වේ.

ඇඟිල්ලක් උලුක්කු වූ විට අනික් අතේ සමාන ඇඟිල්ල පිරිමැදීමෙන් රෝගී ඇඟිල්ල සුවකර ගැනීමේ කෙමක් ඇත. උලුක්කු වූ විට නිවුනනෙකු ලවා එම ස්ථානය අද්දවා ගැනීම තවමත් ගැමියන් භාවිතා කරන කෙම් ක්‍රමයකි.

ඇඟේ ඉන්නන් හට ගත් විට කතා නොකර එම ඉන්නන් ගණන් කර එයට සමාන පරිදි ගල්කැට අහුලා ගන්න. එක ඉන්නෙකු තුවාල කර කහ දියරෙන් සේදූ තඹ කාසියක් තුවාලකල ඉන්නා මත අතුල්ලා එම කාසිය හා ගල්කැට තුන්මංසලක හෝ සිව්මංසලක දැමීම ඉන්නන් නැතිකර ගැනීමේ කෙම් ක්‍රමයකි.

Related articles

 

© 2015 srilife.lk