ස්මාර්ට් ‍ෆොන් සඳහා wireless චාර්ජරයක් ලොව පළමු වරට නිපදවයි

ස්මාර්ට් දුරකථන තාක්ෂණය පසුගිය වසර 10 තුල වේගයෙන් දියුණුවට පත් වුවත් බැටරි චාර්ජ් කිරීමට අදාල තාක්ෂණය පළමු ස්මාර්ට් දුරකථන පරම්පරාවේ භාවිතා වූ අයුරින්ම තවමත් පවතිනවා.

එහෙත් දුරකථන බැටරි චාර්ජ් කිරීමේ තාක්ෂණය වැඩි දියුණු කිරිම සඳහා පර්යේෂණ පවත්වන Josh  Yank අතුළු ඔහුගේ කණ්ඩායම දුරකථන චාර්ජ් කිරීමේ තාක්ෂණයේ ඉදිරි පිම්මක් තැබීමට සමත් වී තිබෙනවා. ඒ ඔවුන් නිර්මාණය කල Mother Box නම් රැහැන් රහිත දුරකථන චාර්ජ් කිරීමේ තාක්ෂණය හදුන්වාදීමත් සමගයි.

ඔවුන් මෙම උපකරණය පිළිබඳව අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හැර තිබෙන අතර එහි දැක්වෙන ආකාරයට මෙය මෙතෙක් නිර්මාණය වූ සත්‍ය ලෙසම රැහැන් භාවිතා නොවන  පළමු චාර්ජරය ලෙස හඳුන්වා දී තිබෙනවා.  

 මෙම උපකරණය භාවිතා කිරීමට නම් මුලින්ම  දුරකථනයේ power port එකට  රිසීවරයක් සම්බන්ධ කල යුතු වන අතර Mother Box උපකරණය සමඟ සම්බන්ධවීම සඳහා සමාගම විසින් App එකක් නිර්මාණය කර තිබෙනවා. App එක හා රිසීවරය හරහා මෙලෙස සම්බන්ධ වීමෙන් පසුව උපකරණයෙන් ඈත්ව වෙනත් ස්ථානයක සිට වුවත් ස්මාර්ට් දුරකථනය චාර්ජ් කිරීමේ හැකියාව පවතිනවා.

Mother Box උපකරණයේ ඇති විශේෂිත ඇන්ටනාවක් මඟින් ආරෝපණ සංඥා සෑම දිශාවකටම සම්ප්‍රේෂණය කරන අතර දුරකථනයේ ඇති රිසීවරය මඟින් ඒවා ග්‍රහණය කිරීම සිදුවනවා. සමාගම සඳහන් කරන ආකාරයට එකවර උපාංග කිහිපයක් චාර්ජ් කිරීමේ හැකියාව උපකරණය සතුව වන අතර iOS සහ Android ස්මාර්ට් දුරකථන සඳහා මෙය භාවිත කල හැකි වන ලෙස නිපදවා තිබෙනවා.

ඉදිරි මාසය තුල සමාගම අපේක්ෂිත අරමුදල් සපයා ගත හැකි වුවොත් 2017 සැප්තැම්බර් මාසයේ දී මෙම නිෂ්පාදනය වෙළඳපලට නිකුත් කිරීමට හැකියාව පවතින බව ඔවුන් පවසනවා 

Yank Tech - Crowdfunding Video

 

© 2015 srilife.lk