ඉන්දියාව නිෂ්පාදනය කළ නවීනතම අග්නි-5 අන්තර් මහද්වීපික න්‍යෂ්ටික බැලැස්ටික් මිසයිලය ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයේ අබ්දුල් කලාම් දූපතේදී ඉතා සාර්ථකව අත්හාදා බලනු ලැබුවා.
දිගින් මීටර් 17ක් පමණ වන මෙම මිසයිලය ටොන් 50ක බරින් යුක්ත වන අතර කිලෝමීටර් 5000 ක් දුරින් පිහිටි ඕනෑම ස්ථානයක් වෙත කිලෝ 1500ක බරින් යුතු පුපුරන ද්‍රව්‍ය රැගෙන, ශබ්දයේ වේගය මෙන් 24 ගුණයක වේගයකින් ගමන් කිරීමට මෙයට හැකියි.
අග්නි-5 මිසයිලයෙන් පාකිස්තානය ඇතුළු දකුණු ආසියාව, උතුරු චීනය ඇතුළුව චීනයේ බොහෝ ප්‍රදේශ හා යුරෝපයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට හැකි බවද ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.
අග්නි -5 මිසයිලය සාර්ථක වීමත් සමඟ කිලෝමීටර් 5000 ඉක්මවා ප්‍රහාර එල්ල කල හැකි අන්තර් මහද්වීපික දිගුදුර මිසයිල ශක්තිය ඇති රටවල් කිහිපය අතරට ඉන්දියාවද එක්වනවා. එම හැකියාව සහිත අනෙකුත් රටවල් වන්නේ රුසියාව, ඇමරිකාව, චීනය, එංගලන්තය සහ ප්රංශයයි.
ඉන්දියානු ආරක්ෂක සංවර්ධන ආයතනය විසින් අග්නි -5 නිෂ්පාදන කටයුතු සිදුකර ඇති අතර මේ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 2500ක් පමණ වැය වී තිබෙනවා. මෙම මිසයිලය ඉන්දියානු සන්නාහ සන්නද්ධ බලකායට එක් කිරීමට නියමිතයි.
ලෝකයේ දැනට භාවිතා වන බොහෝ රේඩාර් පද්ධති මඟහරිමින් ගමන් කිරීමට මෙම මිසයිලයට හැකියාව පවතින බව එහි නිෂ්පාදකයින් පවසනවා.
අග්නි -5 මිසයිලය ප්‍රහාරයක් සඳහා දියත් කිරීමට බලය ඇත්තේ ඉන්දීය අගමැතිවරයාට පමණයි. ඔහුගේ සෘජු අණ කිරීමකින් තොරව මෙය දියත් කිරීමට ආරක්ෂක අංශවලට නොහැකියි.
අග්නි 5 මිසයිලය අත්හාදා බැලීම පිළිබඳව වඩාත් උනන්දුව දැක්වූයේ අසල්වැසි චීනයයි. කෙසේවෙතත් චීන ආරක්ෂක අංශ සතු මිසයිල ශක්තියට අග්නි 5 එතරම් බලපෑමක් නොවනු ඇති. මේවන විටත් චීනය සතුව න්‍යෂ්ටික මිසයිල 250ක් පමණ තිබෙන අතර ඔවුන් සතු Dongfeng 5A නැමති දිගුදුර මිසයිලයට කිලෝමීටර් 13000 ක් දුරින් ඇති ඉලක්ක වෙත ලඟාවිය හැකියි.