ඇමරිකා එක්සත් ජනපදයේ 45වැනි ජනාධිපතිවරයා ලෙස පසුගියදා තේරී පත්වුණේ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාය.
නිව්යෝක් නගරයේ ප්‍රකට ව්‍යාපාරිකයකුගේ සිව්වන පුතු ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා උපත ලැබුවේය. කුඩා කළ සිටම ප්‍රියමනාප චරිතයක් නොවූ නිසා වයස අවුරුදු 13 දී යුද හමුදා අභ්‍යාස ආයතනයට යැවුණේ පාසලේ විනය විරෝධී කටයුතුවල යෙදීම නිසාය. කෙසේ නමුත් පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා පියාගේ ව්‍යාපාර පාලනයට අතගැසුවේය. ඒ කාලයේදීම පියාගෙන් ණයක් ලබාගෙන ගොඩනැගිලි ඉදිකිරීමේ ව්‍යාපාරයක්ද ඇරඹූ ඔහු කෙටි කලකින්ම සාර්ථක ව්‍යාපාරිකයෙක් වූයේය. මේ වන විට ඔහු අතිසාර්ථක ව්‍යාපාරයන් රැසක හිමිකරුය. වත්කම ඩොලර් බිලියන 3.77කි. 1996 සිට 2015 දක්වා රූ රැජින තේරීමේ තරඟ රැසක ආයතනයන්හි හිමිකරු වූයේය.
2004 වසරේ සිට NBC රූපවාහිනියේ The Apentris රියැලිටි වැඩසටහන 2015 වසර දක්වා මෙහෙය වූයේය. ඒ සඳහා ඔහුට ඇමරිකානු ඩොලර් මිලියන 2013ක් එම ආයතනය විසින් ගෙවූ බව වාර්තාවේ. නිව්යෝක් නගරයේ මහල් 68කින් යුත් ට්‍රම්ප් කුළුන නිර්මාණය කළ ඔහු ට්‍රම්ප් ප්ලේස්, ට්‍රම්ප් වර්ල්ඩ් ටවර්, ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හොටෙල් ආදී ගොඩනැගිලි නිර්මාණය කරමින් ව්‍යාපාර ලෝකයේ මහත් කීර්තිනාමයක් දිනා ගත්තේය.
අසාර්ථක විවාහ ජීවිත 2කට පසු ඔහු මේ වන විට විවාහ වී සිටින්නේ තෙවන බිරිඳ ලෙස නිරූපණ ශිල්පිනියක වන මෙලනියා නවුස් සමගයි. විවාහ තුනකින් දරුවන් පස්දෙනෙකුගේ පියෙක් වන ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට සිටින මුණුබුරන් ගණන අටකි. ට්‍රම්ප් මහතා පවසන්නේ ඔහු කිසිදිනක දුම්වැටි, කංසා හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිතා කර නොමැති බවයි. එමෙන්ම ඔහු මත්පැන් පානය කරන්නේද නැත.
ලොව බොහෝ දෙනාගේ විශ්වාසය වූයේ මීලඟ ඇමරිකානු ජනාධිපතිවරිය ලෙස හිලරි ක්ලින්ටන් පත්වනු ඇති බවයි. එහෙත් ලොව මවිත කරමින් ඇමරිකානුවන් තම නව ජනපති ලෙස ට්‍රම්ප් තොරාගත්තේ තියුණු තරඟයකිනි.